මීට පෙර ලිපියක් හරහා කාන්තා රෝග පිළිබඳ කෙටි හැඳීන්වීමක් කළ අතරම මෙවර ලිපිය හරහා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව සාකච්ඡා කිරීමටයි මේ සූදානම. අප පසු කාලීනව සාකච්ඡා කිරීමට නියමිත සියලු කාන්තා රෝග ව්‍යුත්පන්න වනුයේ මෙකී ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ආශ්‍රය කරගෙන බැවින් කාන්තා ප්‍රජනක පද්ධතිය පිළිබඳ මනා දැනුමකින් යුක්ත වීම යෝග්‍ය වේ.
නිරෝගී ගැහැණු දරුවකු ලෙස උපත ලබද්දී ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සියලු අංගෝපාංග සහිතව උපත ලබන මුත් එම අංගෝපාංගවල ක්‍රියාකාරීත්වය ප්‍රකට වනුයේ එම ගැහැණු දරුවා මල්වර වීමත් සමගය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පොදුවේ ගත් කළ බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොටස් 2 කට බෙදා වෙන් කළ හැක. මෙලෙස බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රිය වෙන් කෙරෙනුයේ යෝනිච්ඡද්‍ර කලාවෙහි එනම් කන්‍යා පටලය හෙවත් Hymen නම් වූ පටලයෙනි.
ප්‍රජනක පද්ධතිය කොටස් සවිස්තර කිරීමට ප්‍රථම යෝනිච්ඡද්‍ර නොහොත් කන්‍යා පටලය පිළිබඳ යමක් කීම සුදුසු යැයි සිතමි. කිමද ඒ පිළිබඳ සමාජයේ ඇති පටු මතය තුළින් අප කාන්තාවන් විවාහයේදී ඉතාමත් අපහසුතා, දුෂ්කරතා හා ගැටලුවලට මුහුණ දීමට සිදු වන බැවිනි. නමුත් වර්තමාන සමාජයේ පුද්ගල ආකල්ප සංවර්ධනයත් සමගම එම තත්ත්වය එතරම් ගැඹුරින් සමාජයට ගැටලුවක් වන බවක් නොපෙනේ.
කෙසේ නමුත් මෙම යෝනිච්ඡද්‍ර නොහොත් කන්‍යා පටලය ආයුර්වේදානුකූලව කවාකාරව හෝ අර්ධ චන්ද්‍රාකාරව යෝනි මුඛයේ ඇතුළු පසට වන්නට පිහිටන සියුම් සිවියකි. කලාතුරකින් එය සම්පූර්ණ යෝනි මග වසා පිහිටයි. ඇතමෙකුගේ එය ඇදෙන සුළුය. තවත් පිරිසකට එය උපතින්ම නොපිහිටන්නට හෝ ඉතා අල්ප වශයෙන් සියුම් පටලයක් ලෙස පිහිටන්නට ඉඩ ඇත. සමාජ මතය අනුව අවිවාහක කාන්තාවකට තම පවිත්‍රතාවය තහවුරු කිරීමටද බලපාන සාධකයකි. කිමද පළමු සංසර්ගයේදී මෙම කන්‍යා පටලය බිඳ වැටීමෙන් සුළු රුධිර වහනයක් සිදුවන නිසාය. නමුත් ඉහත කී පරිදි යම් යම් අවස්ථාවල දී රුධිර වහනයක් නිසැකවම සිදු වේ යැයි බලාපොරොත්තු වීම නිවැරදි නොවේ.
කොටස් දෙකකට ඛෙදා වෙන් කරන ලද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ බාහිර ප්‍රජනක පද්ධතියට අදාල අංග සංඛ්‍යාත්මකව 12 ක් වේ.
- භග පීඨ – Mons pubis
- ලසු භගෞෂ්ඨ – Labia Minor
- භග ශිෂ්නිකා – Clitoris
- වෘහත් භගාලින්දීය ග්‍රන්ථී – Greater Vestibular glands
- යෝනි ද්වාර (යෝනි විවරය) – Vaginal orifice
- මූල පීඨ – Perineum
- වෘහද්භගෞෂ්ඨ – Labia Majora
- භගාලින්ද – Vestibule
- මුත්‍රප්‍රසෙකද්වාර (මුත්‍ර විවරය) – External Urethral Orifice
- ප්‍රහර්ෂ පිණ්ඩිකා – Vestibular Bulbs
- යෝනිච්ඡද්‍ර කලා – Hymen
- මූළ පිණ්ඩිකා – Perineal Body
අභ්‍යන්තර ප්‍රජනක ඉන්ද්‍රිය සංඛ්‍යාත්මකව 4 ක් දැක්විය හැක
- ගර්භාෂය – Uterus
- ඩිම්බ නාළ – Fallopian Tubes
- ඩිම්බ කෝෂ – Ovaries
- යෝනි මාර්ගය – Vagina
යෝනි
යෝනි යන පොදු අරුතින් ගර්භාෂය ඇතුළු ඉහත නම් කල සියලු ප්‍රජනන ඉන්ද්‍රිය විග්‍රහ වේ. ඒ අනුව ගත් කල ආයුර්වේදානුකූලව යෝනි යනු සක් ගැබක ආකාරය දරන, ආවර්ත හෙවත් නැමි තුනකින් යුක්ත ව්‍යුහයකි. එයත් තුන් වැනි ආවර්තයේ ගර්භාෂයේ පිහිටයි. යෝනියේ හැඩය අනුව සක් ගැබකට උපමා කලේ දෙකෙලවර හැකිලී මැද කොටස පෘථුලව පවතින හෙයිනි. එහි ඇතුළත සිදුර සහිත නලයක් ලෙස පවතී.
යෝනි මාර්ගයේ ඉදිරියෙන් මුත්‍ර මාර්ගය සහ මුත්‍රාශයත් පිටුපසින් මලාශයත් පවතී. එහි දෙපසින් මාංශ පේශී යුගලයක් පවතී. ඒවා පායුධාරිණී නම් වේ. යෝනි මාර්ගයේ විස්තාරණය භාග ප්‍රදේශයේ සිට ගැබ් ගෙල දක්වා විහිදේ. එසේම එම මාර්ගය තෙත් ස්වභාවයෙන් යුක්ත වේ. යෝනි මාර්ගය තෙත් ස්වභාවයෙන් යුක්ත වීමෙ හෝ නොවීම මත විවිධාකාර රෝග වලට කාන්තාවන් ගොදුරු වේ. ආම්ලික ස්වභාවයක් පවතින මෙම යෝනි මග ආශ්‍රය කරගෙන ස්නායු, රුධිර වාහිනී හා ශිරා ජාලා පවතී.
යෝනි මග ස්ථානිකව සෑදෙන බහුල රෝගී අවස්ථාවක් වනුයේ ශ්වේත ප්‍රදර රෝගී අවස්ථාවයි. ශ්වේත ප්‍රදර යනු යෝනි මගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඛෙලසුල් ස්‍රාවයක් වැගිරීම හෙවත් ව්‍යවහාරයේ සුද යෑම නමින් හඳුන්වන රෝගී තත්ත්වයයි. තවද යෝනි මාර්ගයේ භගාශ්‍රිත ප්‍රදේශය යනු සංක්‍රාමික රෝග පහසුවෙන් ඇතිවිය හැකි ස්ථානයකි.
ගර්භාෂය යනු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සුවිශේෂී අවදානයක් හිමි වන බාහිර ඉන්ද්‍රියාංගයකි. ගර්භාෂය පිළිබඳ කරුණු ඊළඟ ලිපියෙන් සවිස්තරාත්මකව දැන ගනිමු.
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ බාහිර කථිකාචාර්ය, ආයුර්වේද වෛද්‍ය කේ. අචලා ද සිල්වා (විලේපනවේදී) මහත්මිය සමග සකසන ලද ලිපියකි.