රාමසාන් උපවාස මාසය ආරම්භ වෙන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ නව වැනි මාසයේ නව සඳ උදාවීමත් සමගයි. චන්ද්‍ර දින දර්ශනය අනුව මෙම උපවාස කාලය තීරණය වෙන නිසා මෙම කාලය වෙනුවෙන් පොදු දිනයක් හෝ කාලයක් තීරණය වී නැහැ. පින්ලන්තය, නෝර්වේ, ස්විඩන් වැනි ආක්ටික් කලාපයේ ඇතැම් වේලාවන්හිදී පැය 24 පුරා හිරු එලිය ලැබෙන නිසා ඔවුන්ට උපවාසය වෙනුවෙන් කාල වේලාව ගැන සම්මුතියකට එළැඹීම අපහසු නිසා මෙම වැසියන් මක්කම නගරයේ හෝ ඔවුන් ජීවත් වෙන රටට ආසන්න මුස්ලිම් ජනතාව උපවාසය පවත්වන කාලසීමාව මේ වෙනුවෙන් සම්බන්ධ කර ගනු ලැබේ. උපවාසය නොපවත්වන රටක් ලෙසට චීනය සලකනු ලැබේ.චීනයේ සිං ජියැං ප්‍රාන්තයේ උයිගුර් මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කළත් ඔවුන්ට උපවාසය පවත්වන්න නීතියෙන් අවසර නැහැ. තවමත් චීන රජය විසින් සිවිල් සේවකයන්ට සහ ශිෂ්‍යන්ට උපවාස සීලය අනුගමනය කිරීම තහනම් කර තිබෙනවා.
කාන්තාවන්ටත් මේ දිනවල නිවසේ කටයුතු කාර්යබහුලයි. වෙනදාට වඩා ඉක්මනින් නිවසේ ආහාරපාන පිසින කටයුතු අවසාන කර ගන්න අවශ්‍යයි. උපවාසය ආරම්භ කරන විටම නම් මේ තත්වය ටිකක් අපහසුයි. නිරාහාරව සිටින විට ඇති වෙන අපහසුතාවයන්ද නැතුවාම නොවේ. උපවාසය අත්හරින විටත් විවිධ ආහාරපාන පිලියෙල කිරීමට ඇය ඉක්මන් වීමත් අවශ්‍යයි. ඒ නිසා උපවාස සීලය කාලයේදී කාන්තාවන්ට නිදහස්ව සිටින්න නම් බැහැ.
රාමසාන් උපවාසයේ වැදගත්කම
අපි වචනයට වුනත් කියන්නේ තුවාලය තිබෙන මිනිසාට වේදනාව දැනෙනවා මිස වෙනත් කෙනෙකුට එය නොදැනෙන බවයි. රාමලාන් උපවාසයේ අර්ථයත් මීට සමානයි. අපි බඩගිනි කිව්වට බඩගින්නේ බරපතල තත්වය අපිට බඩගින්නක් ඇති නොවෙනවා නම් දැනෙන්නේ නැහැ. ඒ නිසා වත්පොහොසත්කම් ඇති නැති, බාල, මහලු හැම දෙනාටම උපවාස සීලය මගින් බඩගින්නේ අරුමය දැනගන්නා අදහසින් මෙම සීලය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනා.
ඒ වගේම අල්ලා දෙවියන්ගේ දේවදූතයෙක් වුන ”ජිබ්රිල් “විසින් ක්‍රි. ව 610 තරම් ඈත අතීත කාලයේදී ශුද්ධ වූ කුරානය හෙලිදරවු කරනු ලැබුවේ රාමසාන් මාසයේදී වීමත් වැදගත්. ඒ දිනය ” ලෛලතුල් කදර් ” යනුවෙන් හැදින්වෙන අතර එම ප්‍රකාශය ලැබුනේ උපවාස කාලයේ අවසාන හෙවත් 21, 25,27 හෝ 29 වැනි ඔත්තේ ඉලක්කමකින් යුක්ත සංඛ්‍යාවකදී වීමත් විශේෂත්වයක්.
රාමසාන් උපවාසය ආරම්භ කරන්නේ පාන්දර හිරු උදාව සමගයි. එයින් අනතුරුව හවස් වෙන තෙක් නැවත වතුර පොදක් හෝ ආහාරයට ගන්නේ නැහැ. මේ නිසා එම ඔත්තේ සංඛ්‍යාවන්හි දින මුල් කර ගෙන මුස්ලිම් බැතිමතුන් පින්කම් කටයුතුවල යෙදෙනවා. දුප්පත් අයට දානය දීම වැනි පිංකම් වල නිරත වෙනවා. ඔවුන්ගේ ජන ජීවිතයත් මේ කාලයේදී ඉතා යහපත් ලෙසින් පවත්වා ගැනීම අවශ්‍යයි. දුගී , මගී යාචකයන්ට යම් යම් අන්දමින් ආහාර පාන සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීම, ඕපාදූප කතා බහ, දුම්පානය, ලිංගික ඇසුර තවත් අයෙකු ඊර්ශ්‍යා කිරීම වැනි හැසිරීම් රටාවෙන් ඉවත්ව ජීවත්වීම ඉතාම වැදගත් වේ.
මුස්ලිම් බැතිමතුන් උපවාසය ආරම්භ කරමින් කණු ලබන්නේ ” සුහුර් ” යන නමින්. හිරු අවරට යන විට උපවාසය අවසාන කරනවා. අවසාන කරන ආහාර වේල හැඳින්වෙන්නේ ” ඉස්තාර් ” නමිනුයි. මහමත්තුමා උපවාස සීලය අවසාන කළේ රටඉදි ගෙඩි දෙක තුනක් අනුභව කිරීමෙන් නිසා අදටත් මේ සම්ප්රදාය පවත්වාගෙන යනවා.ඉස්තාර් වෙලාවට අනුභවයට සකස් කරන ආහාර අතර චිකන් කෙබාබ්, පැටිස්, රටඉඳි හල්වා, බ්‍රෙඩ් රෝල්, කැඳ, ෆලුඩා වැනි ආහාර විශේෂයි.මෙම ආහාර පෝෂණයෙන් ඉතාම ඉහලයි. ඔවුන් පිලයෙල කරන කැඳ වෙනුවෙන් එළවළු , කිරි, මුංඇට, පරිප්පු, කුළුබඩු වගේම මස් වර්ගත් ( හරක්, එළු, කුකුල් ) එක් කර ගන්නවා.
උපවාසය නොකර ඉන්නත් අවසර ඇති පිරිසක් සිටිනවා. රෝගීන්, ගැබිනි සහ කිරිදෙන මව්වරුන් වගේම වැඩිවියට පත් නොවුන දරුවන්ට උපවාස නොකර ඉන්න අවසර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී හදිසියේ ඇති වෙන අපහසුතාවයන් නිසා කඩින් කඩ උපවාස කරන අවස්ථාවන්ද තිබෙනවා.ක්‍රිඩකයන් වගේම විභාග සහ වෙනත් විශේෂ සහ නොවැලැක්විය හැකි හේතු මත රාමසාන් කාලයේදී උපවාසය මග හැරුන අය ඒ වෙනුවෙන් පසුව උපවාස කිරීමටත් පුලුවනි.මේ උපවාසය ගැන මුස්ලිම් බැතිමතුන්ගේ තිබෙන්නේ දැඩි විශ්වාසයක්. ඒ වගේම රුධිරයේ එන්ඩොප්රින් මට්ටම ඉහල යෑම නිසා මානසිකවත් සුවයක් ඇති වෙනවා.මානසික අසහනයට බොහෝ විට හේතු වෙන්නේ මෙම එන්ඩොප්රින් රසායනයේ අසමතුලිතතාවය නිසා උපවාසය සමග එහි ඇති වෙන හිතකර ක්‍රියාකාරිත්වය ඉතාම හිතකර මානසික තත්වය වෙනුවෙන් නොදැනීම හේතු වෙනවා.
දවස් 29 ක් පුරාවට මේ විදිහට ආහාර පාලනය කළාම අපි හිතන්නේ සිරුර කෙට්ටු වෙලා , ශරීර බර අඩු වෙලා විශාල විපර්යාසයක් වෙයි කියලා. ඒත් මේ අය දවසේ නිරාහරාව සිටියත් උපවාසය අතහැරිය විගස ආහාරයට ගන්නේ මේද සහ පිෂ්ට බහුල ආහාරයි. ඒ වගේම වෙනදා වගේ වෙහෙසකර හෙවත් සිරුර වෙහෙසන කටයුතුවල යෙදීම එතරම්ම නැති නිසාත් කිසිම විදිහකට ශරීර බර ගැන නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
උපවාසය අත්හරින උත්සවය ” ඊද් ” යනුවෙන් හැදින්වෙනවා. ඒ ගැන නිල නිවේදනය දැනුම් දෙන්නේ නවසඳ දැකීමත් සමගයි. එහිද උපවාසය අත්හැරලා කාලා , බීලා අලුත් ඇදුම් ඇදලා ආගමික මෙහෙයන් පවත්වමින් සතුට බුත්ති විදිනවා.