අපේ රටේ කාන්තාව

සිරිකත හෙවත් ශ‍්‍රී කාන්තාව යහපත් භාවයේ ප‍්‍රතිමූර්තිය ලෙස සැලකෙන පෙරදිග වැසියන් සියලු උත්තුංග වස්තූන් සලකන්නේ මාතෘත්වය මූලික කරගෙනයි. එයිනිදු අපේ රටේ ජනතාව කාන්තාව රත්නයක් කොට සලකා සෑම දියණියක්ම කාන්තා රත්නයක් බවට පත් කිරීමේ මහඟු ප‍්‍රාර්ථනාවක් සහිතව පසුවෙති. අප උපන් රට මව් බිමයි. මාතෘ භූමිය මවට පමණක් දෙවෙනි වෙයි. මිහිමව, මිහිකත, පෝළෝවතී කාන්තාව ලෙස පුරාතන වියතුන් ගැදි පැදි නිර්මාණයන්ගෙන් පිදුවේ ලොව උසුලන මහපොළවයි. 

රසවින්දනය (වීනාව), දැනුම (පුස්කොළ පොත), සංවරබව (නවගුණ වැල), කථිකත්වය (ගිරවා) යන සතර කවිය සිව් දෑතකින් දරාගෙන කලාවට අධිපති ලෙස වැඩ හිදින්නේ සරස්වතිය නම් වූ දිව්‍යමය කාන්තා රත්නයකි. සකත වස්තුවට අධිපති බව දරන්නේ ශ‍්‍රී ලක්‍ෂ්මි නම් දිව්‍යාංගනාවකි. මෙවැනි දිව්‍යමය සංකල්පනා රැසකින් මූර්තිමත් වී සිටින්නී කාන්තාවකි. 

ශ‍්‍රී ලංකාවේ කාන්තාව සතු එකී පෞරුෂමය සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික ආදී විවිධ සාධක මගින් උස් පහත් මට්ටම තීරණය කරනු ලබන අතර ”ගැහැණිය” යන සංකල්පය මගින් ඇය ගෘහණාය හෙවත් ගෘහයේ නියමුවා ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි. නිවසේ නියමුවා බිරිඳ හෙවත් දරුවන්ගේ අම්මා ලෙස ලබන පූජනීයත්වය කුටුමිබය රක්‍ෂණයේ පූර්ණ වගකීම ඇයට භාරකරයි. දිළිඳු-මධ්‍යම-ධනේෂ්වරය ආදී කවර පන්තියක නියෝජනයක් උවද ඇය දරා සිටින්නේ වගකීම් සම්භාරය අගයකි. මේ වගකීම් සමූහය මගින් පරිපූර්ණ වන ලාංකීය කාන්තාවගේ පෞරුෂය, ගෞරවනීය හා පූජනීය ඉසව්වක් කරා ගමන් කරන්නේ නිරායසයෙනි. 

තාත්තා උනත් මම බත සරිකරන – අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින”

ඩබ්.ඞී. අමරදේවයන්ගේ සුගානයක් තුළින් කියැවෙන්නේ එම ආදරණීය උපහාරයේ කතාවයි. 

ස්ත‍්‍රිය බාල කාලයෙහි මව්පියන් යටතේද, තරුණ වියේදී ස්වාමියා යටතේද මහලු වයසේදී දරුවන් යටතේදී සිටිය යුතු යැයි නිර්දේශ කළ බමුණු දහම ඇය අවස්ථාව ලද සැනින් වරදේ බැ‍‍ෙඳන දුර්වල තැනැත්තියක ලෙස සම්මත කළ එම නිවාස අඩස්සියෙන් කාන්තාව මුදවා ගත් බුදුදහම

ඉක්ථිපී පණ්ඩිතා හෝති – තත්ථ තත්ථ වීචක්ඛනා

යනුවෙන් ඉගැන්වූයේ ඇය දුබල තැනැත්තියක් නොව ඇතැම් අවස්ථාවන්හිදී පුරුෂයාද අභිබවා යන ප‍්‍රබල චරීතයක් බවයි. බෞද්ධ ඉගැන්වීම් මුල් බැසගත් ලාංකීය සමාජය තුළ කාන්තාව සතු පූජනීය ප‍්‍රබල සාධකය කෙසේවත් අවතක්සේරුවට ලක්වන්නේ නැත. 

ලොව ප‍්‍රථම අගැමැතිවරිය බිහිවූ ශ‍්‍රී ලංකාව, මාතෘ මූලික ජන සමාජයක අග‍්‍රගන්‍ය වගකීම් පද්ධතියකින් කාන්තා රත්නය ප‍්‍රභාමත් කළ රටකි. කෘෂිකාර්මික රටක් ලෙස අපේ රටේ ගොවිතැනට උරදුන් ගෙවිලිය කුඹුරට, කමතට, හේනට හා ගොවි බිමට නැතුවම බැරි චරිතයකි. සිංහල ජනකතා, ජනකවි ආදී ජනශ‍්‍රැති මගින් කෘෂිකර්මාන්තයට ඇයගෙන් ඉටුවූ මෙහෙවර පැහැදිලි වෙයි. 

තෙල් ගාලා හිස පීරන් නෑනෝ

ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ

සේලේ බඳවට ඇදගන් නෑනෝ

ගොයම් කපන්නට යමු අපි නෑනෝ

 

කඳුරට තේ වතු සිසාරා ගමන් කරමින් එහි ළා දලු කොළ ගෙන එන්නේද රබර් වතු මැද ගසෙන් ගසට මාරුවෙමින් කිරි එකතු කරන්නේද ලැයින් කාමරවල දුක්බර ජීවිත ගත කරන ලක්වැසි කාන්තාවෝමය. ”උඩරට කදුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ..”යනුවෙන් කවියන්ගේ වාර්ණනාවට ලක්වූ ලෙච්චමීලාගේ පරපුර ජාතික ධජය වෙනුවෙන් හෙළන දා බිඳු ප‍්‍රමාණවත් ඇගයීමකට ලක්වී ඇති බවක් නොපෙනේ. 

එවන් ලෙච්චමීලා ලක්ව ඇති සමාජ පීඩනයන් ගැන කවි ලියූ මොනිකා රුවන් පතිරණ වැනි කිවිඳියන් අපේ රටේ ජාතික සම්පත් ලෙස සැලකේ. සමාජ අසාධාරණයට ලක්ව පරාජිත වූ බොහෝ දෙනාගේ ජීවිත අළලා ඇය ලියු කවි අතිශයින් ජන සම්භාවනාවට බඳුන් විය. එවැනි කිවිඳියන් ගීත රචිකාවියන් කීපදෙනෙක්ම පෑන අවියක් කොටගෙන යුග මෙහෙවර මැනවින් කළ බව න‍ොරහසකි. 

ප්‍රේමයෙන් මුසපත්ව අයාලේ ගිය ජීවිත වලට සෙනෙහසේ යථාර්තය පසක් කරවන දයාබර නිර්මාණ රැසක් දැයට දායාද කළ යමුනා මාලිනී පෙරේරා කවිය, ගීතය, නවකතාව හා කෙටි කතාව ම`ගන් සිත් පහන් කරන අයුරු කදිමය. 

සිංහල ගීතයට සුභාවිත ලකුණක් එක් කළ නන්දා මාලනී වැනි ගායිකාවන් නොමග යන ගීත කලාවට ආරක්‍ෂිත ප‍්‍රාකාරයක් නිර්මාණය කරති. ළමා සාහිත්‍ය හා චිත‍්‍ර කලාවෙන් ලොවක් වශී කළ සිබිත් වෙත්තසිංහ මැතිණිය ලංකා මාතාවගේ අති විශිෂ්ඨ වූ සහජාත දියණියකි. 

ක‍්‍රීඩා ක්‍ෂෙත‍්‍රයේ දස්කම් දක්වා ලෝක ශුරීයන් කීපදෙනෙක්ම ලක්මව තුරුලෙන් ජාත්‍යන්තරයට ගොස් කිරුළු හා කලාව- සාහිත්‍ය, ක‍්‍රීඩාව-නර්ථනය ආදී විවිධ ක්‍ෂෙත‍්‍රයන්හී දස්කම් පෑ හෙළ වනිතාවෝ ශ‍්‍රී ලාංකීය අභිමානය වෙනුවෙන් සිය කාලය ශ‍්‍රමය වැය කළෝය. 

අති මහත් ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ලක්දිව ශිෂ්ඨාචාරය තුළ එදා මෙදා තුර සිදු වූ ඓතිහාසික සිදුවීම් සියල්ල පසු පස කාන්තාවකගේ අභිමානවත් චරීතාපදානයන් සම්බන්ධ වී ඇති සේම යටත් විජිත යුගය හා නිදහස් අරගලය පසුබිම් කොටගෙනද ලක් වනිතාභිමානය පෙරමුණෙහි සිටී. යශෝදරාවත-වෙසතුරුදා කව-සඳ කිඳුරු දා කව වැනි සම්භාව්‍ය ග‍්‍රන්ථ පරීශීලනය කළ පැරණි හෙළ වනිතාවන් යශෝදරා-මහමායා-ප‍්‍රජාපතී වැනි උතුම් දේවීවරුන්ගේ චරීත පරමාදර්ශී කොට ගෙන සිය ආත්ම පාරිශුද්ධිය මෙන්ම ආත්මාභිමානය වර්ධනය කරගත්හ. 

ලෝකය ඉදිරියේ අපටම වෙන්වූ ප‍්‍රභාමත්වූ ජාතික අනන්‍යතාවයක් ගොඩගා ගැනීමට මේ කාන්තා පරපුර පෙරමුණ ගත්හැටි නොරහසකි. 

80 වේ දසකයෙන් ඇරඹි ඇඟළුම් කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයෙහි සේවය කරන දහස් ගණනක් තරුණ කාන්තාවන් සිය ශ‍්‍රමය කැපකරන්නේ රටට මුදල් උපයා දීමටයි. දෙමාපියන්ගෙන් හා ඇතැම් විට සැමියාගෙන් හා දරුවන්ගෙන් දුරස්වී ඔවුන් තාවකාලික නැවතුම් වල නතර වී කුසට හරිහමන් අහරක් නැතිව නෙතට ප‍්‍රමාණවත් නින්දක් නොමැතිව දුක් සුසුම් අනුභව කරන්නේ ජීවන සටනට සරිලන පන්නරය වෙනුවෙනි. 

මේ කතාවේ අනෙක් පැත්තද අපේ රටේ කාන්තාව පිළිබඳ අගය කළ යුතු නිමේශයක් අපට හමුවෙයි. සැමියා රැකියාවක නිරතව සිටින පවුලක නිවසේ සියලු බර කරට ගන්නා කාන්තාව මවකට උරුම වූ සිව් බඹ විහරණය අනුව සියලු අපහසුතා සතුටින් විඳ දරාගන්නීය. අළුයම අවදි වී අහර පිස දරුවන්ට කවා පොවා ඔවුන් පාසල් යාමට සූදානම් කරන්නේද ඇයයි. ගේ දොර අතු පතු ගා දරුවන්ගේ (ඇතැම් විට සැමියාගේ) රෙදි සෝදා පිරිසිදු කරන්නේද ගෘහණියයි. 

ශ‍්‍රී ලාංකීය කාන්තාවන්ගේ කාර්යභාරය ඇය ජීවත් වන සමාජ පරිසරය අනුවද විවිධ වෙනස්කම් තිබෙන්නට පිළිවන. එනම් නාගරික හා ග‍්‍රාමීය වශයෙන් ගත් කළ පැහැදිලි වෙනස්කම් ඇගේ කාර්යභාරය තුළ රැඳී පවතී. මේ සියලු කාර්යභාරයන් ඇය විසින් විඳ දරාගැනීම ඇදහිය නොහැකි මට්ටමක තිබුණත් පිරිමියාට වඩා දරාගැනීමේ හැකියාව කාන්තාව සතුව පවතින බව මනෝවිද්‍යාත්මක මතයයි. 

ජීවිතය ජය ගැනීමට විවිධ ක‍්‍රමෝපායන් අත්හදා බලන ලාංකීය කාන්තාවන් ඇතැම් ස්වාමිපුරුෂයන්ගේ අදූර දර්ශී ක‍්‍රියා පිළිවෙත් මගින් අසරණ වන අවස්ථා බහුලය. 

තම බිරිද හෝ ස්වාමියා තම ආකල්ප වලට නොගැලපේ නම් ඉතා පහසුවෙන් ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන්වීමේ නෛතික නිදහසක් බොහෝ රට වල දක්නට ලැබේ. එහෙත් ශ‍්‍රී ලංකාව ඇතුළු ඇතැම් පෙරදිග රටවල් ඒ නිදහස අහෝසිකරගෙන ”බැඳගත් බෙරය කෙසේ හෝ ගැසිය යුතුය යන” නිගමනයට බැස ඇත. 

දුසිරිතට පත් සැමියා වරදක් කළද එය විඳ දරාගෙන ”පැමිණි දුක් ක`ද පැණි රසක් යැයි…” සිතා බොහෝ දුක්බර ජීවිත ගෙවන වීරෝධාර කාන්තාවන් අපේ රටේ වාසය කරයි. මෙම ඉවසීමේ ගුණය ලාංකීය කාන්තාවන්ගේ අගය හා වටිනාකම පිළිබඳ ගැඹුරු සාධකයකි.

මෙහිදී නොලියාම බැරි නමුත් අගය කළ යුතු සාධකයකි. එනම් නිදහස් අධ්‍යාපනයේ අග‍්‍ර ඵල ලෙස සිරිලක් වනිතාව අද අපේ රටේ රාජ්‍ය සේවයේ වගකිව යුතු නිල තලයන් දරන්නීය. ”කාන්තාවකට ගැලපෙන්නේ ගුරු වෘත්තියයි” යනුවෙන් මතයක් පැවති කාලයේ ඇය ”ඉස්කෝලේ හාමිනේ” යන තනතුර දක්වා එදා ගමන් කළද අද පරිපාලන ක්‍ෂෙත‍්‍රයේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේද කාන්තාවයි. අරුමය නම් එය නොවේ. 

පරිපාලන සේවයේ නිලධරයන් බුරුතු පිටින් අල්ලස් දූෂණ වංචා චෝදනා පිළිබඳව නීතිය හමුවට ගෙන යන රටක කිසිදු චෝදනා පත‍්‍රයක් කාන්තා නිළධාරීනියකගේ අතට පත් නොවීමයි. එතරම් වගකීමෙන් තම කාර්යභාරය ඉටුකරන සිරිලක කත වෙත තව තවත් වගකීම් හා තනතුරු ප‍්‍රදානය කොට රට නිවැරදි ඉසව්වකට ගෙන යාමට දිරි දිය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි. 

 

කුරුණෑගල විශුද්ධායක විද්‍යාතන පිරිවෙනේ අචාර්ය, ශාස්ත‍්‍රපති, දිවයිනටම සාම විනිසුරු

වික‍්‍රමසිංහ අතපත්තු මහතා 

About The Author

Previous articleහීල්බත් ගුණ
Next articleකාන්තා ඔබටත් මේ ලක්ෂණ ඇත්නම් ඒ Chocolate Cyst නිසා විය හැකියි
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here