දරුවන් යනු දෙමව්පියන්ගේ ජීවිතය යැයි කිව්වත් මේ ජීවිතය මහමග දමා යන මව්පියන්ද නැතුවා නොවේ. සමහර විටෙක මේ දරුවන් කිසිදු සරණක් නොමැතිව අසරණ තත්වයට පත් වුනත් තවත් විටෙක ඔවුන් ජීවිතයේ සියලු අභියෝග ජය ගෙන ඉදිරියට යන අවස්ථාවන්ද නැතුවා නොවේ. “කන්යා සෙසර්” නැමැති මේ යෞවනිය ඇතුලත් වෙන්නේ ඒ වාසනාවන්ත කාන්ඩයටයි.
තායිලන්තයේ නකොන් රට්චාසිමා පළාතේ පක්චොං හි ජන්මය ලත් කන්යාගේ සිරුරේ පාද පිහිටා තිබුනේ නැත. සිරුරේ ඉහල ප්‍රදේශය සාමාන්‍ය අයුරින් පිහිටි අතර ආසියානු කාන්තාවකට හිමි කාල වර්ණ කෙස් කළඹක් මෙන්ම පැහැපත් සමක් හා විශ්වාසයෙන් පිරි දෑසක හිමිකාරිය වූවාය. එහෙත් ඇගේ මව මේ දියනිය පිලිගත්තේ නැත. ඇය තම බිලිදු දියණිය මහමග දමා ගියේ ආබාධිත තත්වය නිසාම වන්නට ඇත. මාහමග සිටි බිලිදිය “පක්‍චොං නානා” රෝහලට ගෙනැවිත් දුන්නේ පාරේ ගමන්ගත් මගියෙකු විසින්ය. එතැන් පටන් කන්යාගේ නිවස වූයේ මෙම රෝහලයි. එහි කාර්ය මණ්ඩලය ඇයට සැබෑම මව්වරුන් වූහ. වසර හතරක් මෙම රෝහලේ ජීවත්වුන කන්යා වෙනුවෙන් කැපකරු දෙමව්පියන් සොයා දෙනු ලැබුවේ සහදායී පදනමේ සමාජ සුබසාධන අංශය මගින්ය. එහි අධ්‍යක්ෂ “මලී චත්කන්හායි” ගේ උදව්වෙන් කන්යාගේ කැපකරු මව්පියන් බවට පත් වුනේ “සෙසර්” පවුලයි. ඩේවිඩ් සහ ජේන් ඇගේ අලුත් මව්පියන් වූහ.
අලුත් පවුලක්…
ඔවුන් මේ අලුත් දියණියඔරිගන්හි පෝර්ට්ලන්හි පිහිටි ඔවුන්ගේ නිවස්නය වෙත රැගෙන ගියහ. සෙසර් පවුල කන්යා දරුකමට හදා වඩා ගන්නට තීරණය කරනු ලැබුවේ ඔවුන්ට දරු සෙනෙහස අහිමි නිසා නොවේ. ඒ වෙන විටත් මේ පවුලට පුතුන් දෙදෙනක් වූහ. තවත් අතකින් ආබාධිත දැරියක් හදා වඩා ගන්නවා යනු එතරම් පහසු කටයුත්තක්ද නොවේ. ඊට හේතුව අනාගතයේදී ඇගේ ජීවිතයේ සැලසුම් සාමාන්‍ය දරුවෙකුගේ තරමට පහසු නැත. ඒත් සෙසර් යුවල ඒ සියළු අභියෝග ඉදිරියේ මුහුණ දෙන සිතින් යුක්තව ඇය බාර ගත්තාය. ඇය අලුත් නිවසට යන විට රෝහලේ කාර්යමණ්ඩලය හිත හදා ගත්තේ “කමක් නෑ…ඇයට යහපතක් වේවා…!” යන හදවතින්ම නැගුන සිතුවිල්ලෙන් බව බූන්චාන් චයික්වන්ග් හෙවත් මෙම රෝහලේ ඇගේ රැකවරනයට සිටි 63 හැවිරිදි කාන්තාව පසුගිය දිනක සඳහන් කලාය.
අතීතාවර්ජනා….
පසුගිය දිනක කන්යා මෙම රෝහලට පැමිනියාය. එහිදී ඇය මව ලෙසින් ඇමතූ බුන්චාන් බාල කාලයේදී කන්යා කළ කී දේ සිහිපත් කලාය. ඇය උපත ලද සූතිකාගාරය පෙන්වූ අතර රෝගීන් සමග කන්යා දෙඩූ සංවාද සිහිපත් කලාය. “ඇත්තට මම එහෙම කිව්වද…?” ඇය ප්‍රතිචාර දැක්වූයේ එසේය. බුන්චාන්ගේ ඇල්බමයේ තිබුන ඡායාරූපත් දැක බලා ගැනීමට කන්යාට අවස්ථාව ලැබුනි.
අම්මාගේ උදව්…
කන්යා පෝට්ලන්ඩ් නිවසේ සාමාජිකයෙක් බවට පත් වුනේ මව පියා පමණක් නොව ඔවුන්ගේ පුතුන් දෙදෙනාටත් සහෝදරියක් වීමෙන්ය. මේ කුඩා දැරිය පිළිගත් පෝට්ලන්ඩ් අවට ප්‍රජාව ඇයට සුව පහසුව ජීවත්විය හැකි ලෙස පහසුකම් සම්පාදනය කළාය. ඇයට සිය රෝද පුටුවෙන් එහා මෙහා යා හැකි පරිදි ඔවුහු මාර්ග වේදිකා ද, මාර්ගය හරහා යා හැකි පරිදි සංඥා එළි ද, ක්‍රීඩාංගණය මෙන්ම සිය අලුත් අසල්වැසියාට පහසු වනු පිණිස පාසල් පුස්තකාලයේ පොත් අසුරණ ද නැවත සකස් කළහ.
ඇයට ජීවිතයේ සැබෑ මව ලැබුනේ දැන්ය. ජේන් සෙසර් විසින් කන්යා තනි කලේ නැත. ආබාධිත නිසා ක්‍රිඩා කිරීමට නොහැකි යැයි තීන්දු ගත්තේ නැත. ඇය පැසිපන්දු, ටෙනිස්, රෝදපුටු ක්‍රීඩා, මොනෝ ස්කී, පිහිනුම් සහ රග්බි ඇතුළු බොහෝ ක්‍රීඩා සඳහා එක්වූවාය. එහිදී ඇයට තවත් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසුන අතර එහිදී කන්යාට හිතුනේ තමා වෙනුවෙන් තවත් පිරිසක් සිටින බවයි. “මම තනි වුනේ නැහැ කියන සිතුවිල්ල මගේ හිතට ආවා…” යැයි ඇය සඳහන් කරන්නීය. මේ නිසාම 2014 වසරේ ලන්ඩනයේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මොනොස්කී ඉසව්වෙන් එක්සත් ජනපදය නියෝජනය කරන්නට ඇයට හැකි වුවාය.
නිරූපිකාවක් වෙන්න කැමැතිද….
මේ අතර ඔරිගන් හි පිහිටි පදනමක් ඇයගෙන් විමසුවේ ඇය වඩාත්ම යෙදීමට රුචි කාර්ය තුන කුමක්ද යන්නය. නිරූපිකාවක වීම ඉන් එක් අභිමත කාර්යයක් වන අතර පසුව එය සැබෑ කරගන්නට ඇයට හැකි විණි. බිබිසි හි තායි සේවය සමග අදහස් දක්වමින් කන්යා කියා සිටියේ රූප සෝබාව වෙනස් කිරීම දැන් ප්‍රවනතාවයක්. මෝස්තර නිසා අපි ලස්සන වෙනවා. ඒවා එක් එක් අයට වෙනස්. අපි සඟරාවකින් දකින දේ සැබෑ ලෝකයේ දකින‍්නේ නැහැ. ඒත් මම හිතන්නේ සැබෑ තත්ත්වය සඟරාවකින් පේන්නට ඕනෑ. කන්යා සෙසර් හඳුනාගත්තේ Nike හා Billabong වැනි ලොව ප්‍රමුඛ වෙළෙඳ සන්නාම සඳහා පෙනී සිටින නිරූපිකාවක ලෙසිනි. 2015 වසරේදී රූපවාහිනී කතා මාලාවකට එක්වූ ඇය මේ වනවිට ප්‍රකට රූපවාහිනී කතාමාලාවක් වන “ද වෝකිං වෝකිං ඩෙඩ්” (The Walking Dead) හි අලුත්ම අදියරට රංගනයෙන් එක්වන්නීය.
ආබාධිතබව ගැන මම හිතන්නේ නැහැ..
ඔබේ ආබාධිතබව නිසා මුල් වරට ඇය දකින කෙනෙක් තුළ ඇති වෙන සිතුවිලි නිසා කන්යාට අපහසුතාවයක් ඇති වුනාදැයි විමසු විට ඇය කියා සිටියේ කවුරු කොහොම හිතුවත් මට ගැටලුවක් නැහැ. තමන්ගේ ස්වාමියා ඉන්නේ තමන් තුළයි. එකජීවිතය කියන්නේ අපි ලැබූ අවස්ථාවයි. ඉතින් එයින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.
අම්මා ගැන හොයන්න කැමැති නැද්ද…?
දරුකමට හදා වඩා ගත් දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ සැබෑ මව්පියන් හදුනා ගැනීමේ ආශාවක් කාලය සමග ඇති වීම ස්වභාවිකයි. මේ ගැන කන්යා කියා සිටියේ හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි. එය ඒ ආකාරයෙන් ම පැවතිය යුතුයි. “ඇය පවුල විදිහට අදහස් කරන්නේ ලේ ඥාතීත්වය හෝ එකම වර්ගයේ ඩීඑන්ඒ ද නොවේ. අතීතය දිහා බලන්න. දරුවෙක්ව සිටිය කාලයේ ජීවිතයේ කොටසක් විදිහට සිටිය කවුරුන් හෝ සිටිනවා එතැන තමයි මම හිතන පවුල කියන්නේ…”
අනාගත හීන…
“දෙපා නැතත්, සීමාවක් නැහැ….. මේ මගේ ජීවිතයේ තේමාව….” සාමාන්‍ය පුද්ගලයෙකුට වගේම කන්යාටත් අනාගත හීන බොහොමයක් තිබෙනවා. ඒවා අතර ඇගේ කැමැත්ත තිබෙන්නේ ලෝකය වටා සංචාරය කිරීම,දරුවන් පවුලට එක් කර ගැනීම, නිලියක් වීම විතරක් නොව චිත්‍රපටියක ප්‍රධාන නිලිය බවට පත් වීමටයි. කවදා හෝ ඇය හඹා යන සිහින ඉෂ්ට වේවා යැයි අපිත් ප්‍රාර්ථනා කරමු.
-බීබිසී පුවත් ඇසුරින්-