අපි හැමෝගෙම ගෙවල්වලට අමුත්තෝ අමුත්තක් නෙවි ලගම නෑදෑයන්, යාළුවන්, හිතවතුන්, අසල්වාසීන් ඔක්කොම මේ අමුත්තන් කුලකයට දාල සලකන්න පුළුවනි. ගෙදරකට එන අමුත්තන් වර්ග දෙකක් ඉන්නවා. දන්වා කලින් කතා බහ කරගත් දිනයක වෙලාවක පැමිණෙන අමුත්තෝ සහ “ලඟට ආව ගමන්… මේ පැත්තෙන් යන ගමන් ගොඩවෙලා යන්න” හිතිලා ගෙට ගොඩවෙන අමුත්තන්. ඉතින් මේ කොයි කුලකෙට අයිති උනත් ගෙදරට අමුත්තෙක් ආවම ඒ අයට වෙලාවේ හැටියට , උපරිම විදියට සංග්‍රහ කරන එක අපට පුරුද්දෙන්ම එන යහ ගුණයක් කියලයි මට හිතෙන්නේ. ඒ යහගුණය කොයිතරම් අපේ ජිවිතවලට බද්ද වෙලාද නම් කෙනෙක් ගෙදරට ආවම ඒ කෙනා මොකුත් නොබී යන්න ගියොත් අපේ හිත රිදෙන තරමට මේ ගුණවත්කම අපේ ජිවිතවලට බද්ද වෙලා.
හරි! ඔන්න ඉතින් කලින් නොදන්වා ගෙදරට අමුත්තෙක් ආව කියමුකෝ… කොයි තරම් ජංගම දුරකථන පහසුකම් තිබුනත් අපි හැමෝගෙම ගෙවල්වලට අදටත් කලින් දන්වන්නේ නැතුව ගොඩවෙන අමුත්තෝ එහෙම නැත්නම් ඉතා කෙටි දැනුම් දීමකින් එන අමුත්තෝ එමටයි. අමුත්තා පිළිඅරගෙන වාඩිවෙලා ටිකක් කතා බහ කරන අතරේ අපි නැගිටලා යනවා. “තේ එකක් බොමු” කියාගෙන. නැත්නම් “චුට්ටක් ඉන්න බොන්න මොන හරි හදාගෙන එන්නම්” කියලා. ඉතින් අපි කොහොමද ගෙදරට අව අමුත්තා/අමුත්තන් සතුටට පත්කරවන සංග්‍රහයක් කරන්නේ. පිළිගන්වනු ලබන කෙනා ආසාවෙන් රස විඳින රස සංග්‍රහයක් කොහොමද කරන්නේ ?
හදිසියේ කැබිනට් වලින් , ලොකු ටී සෙට් අදින්න ඕනේ නැති වෙන්න පිරිසි කෝප්ප 3-4 අතපොවන මානයේ කබඩ් එකක තියා ගන්න. වතුර ටික කේතලේට දාල උණු වෙනකල් කෝප්ප පිරිසි ටික සේදුම් කාරකයක් යොදල හොඳට සෝදා ගන්න. ඔබ හොඳින් සෝදා ඇසුරා තැබූ කෝප්ප බව ඇත්ත. එත් ඔබ නොදැනුවත්ව හෝ කැරපොත්තන් හූනන් කෝප්ප වල ඇවිදලා තිබ්බොත් තේ එක බොද්දි හරිම අප්‍රසන්න හැඟීමක් ඇති වේවි. මේ සෝදගත්තු කෝප්ප පිරිසි හොඳට පිසදමන්න. මොකෙන්ද පිහිදන්නේ? කිසිම වෙලාවක කුස්සියේ දැනට පාවිච්චි කරමින් ඉන්න සර්වියට් එකක් ටී ටවල් එකක් ගන්න එපා. සෝදලා වේලලා නවා තිබු පිරිසිදු ටී ටවල් එකකින් හෝ පේපර් සර්වියට් එකකින් කෝප්ප හොඳට පිසින්න. අනේ! දැන් සෝදපු කෝප්ප කියලා පේන්න වතුර බේරෙන පිරිසි කෝප්පවල පිරිනමන තේ එකකින් ඇතිවන්නේ ප්‍රියමනාප බවට වඩා අපුලක් .
ඔබේ අමුත්තා අවේ උදේ 10ට නම්… තාම ටික වෙලාවනේ කියලා උදේ ගෙදරට තේ හදපු තේ ගොට්ටටම උණුවතුර දාල තම්බල තේ එක හදන්න එපා. හෝදපු තේ ගොට්ටට අලුත් තේ කොළ දාල කහට හදාගෙන පිටි හෝ කිරි දානවනම් එකතු කරලා සිනි දාල තේ එක හදන්න. ඔබේ ගෙදර සිනි බෝතලේ අන්තිමටම සේදුවේ කවද්ද? අමුත්තන්ට තේ එකක් පිරිනමද්දී එය වැදගත් ද? ඔව්!! මොනතරම් ඉස්තරම්ම තේ කොළ වලින් තේ එක හැදුවත්… ඔබේ ගෙදර සිනි බෝතලේ කලකින් සෝදලා නැත්නම් ඔබේ තේ එකට තේ කොලවල ප්‍රනීත රස හා සුවඳ ගන්න බැහැ…ඇයි? එහෙම කියන්නේ. සිනි, බෝතලයකට දාල සතියක් දෙකක් යද්දී සිනි කැට ක්‍රිස්ටල් වගේ වටේට බැඳෙනවා. එයින් කැරමල් වගේ රසක් එන්න පටන් ගන්නවා. තවත් කල් යද්දී සිනි එකෙන් පුංචි කළු කුඹි සුවඳක් එනවා. ඉතින් මේ තේ එක හදන්න ගන්න සීනි ටික බෝතලයට දමා සතිගණනක් නම් … කාලයක් තිස්සේ පාවිච්චි කරන බෝතලයකට නැවත නොසෝදා අලුතෙන් පිරවූ සිනි නම් ඔබ තේ එකට ඉස්තරම්ම තේ කොළ දැම්මත් තේ වල ප්‍රනීත සුවඳ තේ එකට ගන්න බැහැ . ඒ නිසා හැම සිනි කිලෝ එකකට වතාවක් හෝ… ඔබේ ගෙදර පරිභෝජන රටාවේ හැටියට සතියකට දෙකකට වතාවක් සිනි බෝතලය සෝදා වේලා අලුතින් පුරවන්න. තේ එක හදන්න කලින් ඔබේ අමුත්තාගෙන් සීනි හැඳි කියද කියලා අහන එක අලුත් තාලේ සෝබන පුරුද්දක් නොවන බවත් ඔබේ හිතවතා වෙනුවෙන් පුද්ගලිකවම අවදානයෙන් සංග්‍රහ කිරීමේ ඔබේ උනන්දුව පළකිරීමක් බව සලකන්න. ඒ නිසා සිනි හැඳි කියාද අහන්න ලජ්ජා වෙන්න එපා. තේ එකට ෆ්‍රෙෂ් මිලක් දානවා නම් කිරිටික යන්තමින් රත් කරලා ගන්න. එතකොට දුම් දාන තේ එකක් හදා ගන්න පුළුවනි. තේ එක පුළුවන් තරම් රස්නෙන් පිළිගන්වන්න උත්සහ ගන්න. තේ එක හදද්දී හැන්ද ගොඩක් වෙලා තේ භාජනයට දමා හැඳි ගාන්න එපා.රස්නේ නැතිවෙනවා.ඒ වගේම තේ එක පිල්ගන්වන්න කලින් ඔබ රස කොහොමද කියා බලනවා නම් වෙනම කොප්පෙකට තේ ඇබින්දක් අරන් බීලා බලන්න. කිසිම වෙලාවක තේ හදන හැන්දෙන් එහෙම්මම ටිකක් බීලා රස බලන්න එපා. ඒක හරිම අප්‍රසන්න පුරුද්දක්. තේ හදන්නම වෙනම හැන්දක් තියාගන්න. කලින් දවසේ කිරි පැණි කෑ හැන්දෙන් තේ එක හැදුවොත් ඒ මී කිරි සුවඳ/රස තේ එකට එනවා. දුම් දාන තේ එක පිරිසිදු බන්දේසියක තියල පිළිගන්වන්න.
ගෙදර තියෙනවනම් බිස්කට් එකක් කේක් කැල්ලක් සංග්‍රහයට එක්කරන්න. “තේ එකක් බොමුද?” කියනවට වඩා “මොනාද බොන්නේ…?” කියල අහන තරමට නම්‍යශීලි වෙන්න. ගිනි මද්දහනේ ගෙට ගොඩවුණු අමුත්තෙකුට දුන් දාන තේ එකකට වඩා සිතල යමක් බොන්න දෙන්න ඔබේ සංග්‍රහශීලිත්වය අවස්ථානුරුප කරගන්න. ඒකට කඩේ තියෙන වහ කාරක යොදපු පැණි බිම බෝතලයක් ගෙනල්ල ෆ්‍රිජ් එකේ දාල දරුවන්ගෙන් බේරා ගන්න වලිකන්න ඕනෙ නැහැ. හීන් නාරන් බහුල කාලෙට පොලෙන් හීන් නාරන් ටිකක් වැඩිපුර ගෙනාවම… ගමෙන් ආව නෑදෑයෙක් වැඩිපුර හීන් නාරන් ගෙනාවම මිරිකලා අයිස් ට්‍රේ එකට දාල කැට හදලා තියාගන්න… ගිනි මද්දහනේ ගෙදරට කලින් නොදන්වා ආව අමුත්තෙකුට එයින් කැට දෙකකට අයිස් වතුර සීනි ටිකක් ලුණු ඇබින්දක් දාල හොඳින් දියකර පිළිගන්වන්න…. එහෙම නැත්නම් ෆ්රිස් කරපු පලතුරු ටිකක් බ්ලෙන්දරේට දාල වතුර සීනි දාලා පලතුරු ස්මුතියක් හදලා පිළිගන්වන්න.
බොහෝ වෙලාවට අමුත්තන් “මොකුත් බොන්න බැහැ” කීවාම බලහත්කාරයෙන් සංග්‍රහ කිරීමේ සිරිතකුත් අපිට තියෙනවා. ඔබ සංග්‍රහය පිළියෙළ කරන්න සැරසෙද්දී “අනේ එපා…., ටිකකට කලින් ලන්ච් ගත්තේ මොකුත් එපා ” කිවොත් ඊට ඇහුම්කන් දෙන්න ඔබේ සංග්‍රහශිලිත්වය නම්‍යශීලි කරගන්න. මෙයින් කියන්නේ වැළමිටෙන් අල්ලා බත් දෙන්නට අඬ ගසන්නට කියා නොවෙයි. “අනේ කිසිම කරදරයක් නෑ… මම ටක් ගාලා බොන්න දෙයක් හදාගෙන එන්නම්” කියල එක පාරක් කියන්න. ඒත් ඔබේ අමුත්තා සංග්‍රහයක අවශ්‍යතාව පල නොකරනවා නම් ඔබට කැමති දෙයක්…. ගෙදර ඉතුරු වුන රසකැවිල්ලක්…. පුටුවක ගැට ගසා හෝ බලෙන් කවන්නට පොවන්නට තරම් ඔබේ සංග්‍රහශිලිත්වය කුරිරු කරගන්න එපා. ඔබේ අමුත්තා ඉල්ලන්නේ වතුර වීදුරුවක් නම්.. ඒ වෙලාවේදී චොකලට් කේක් කැල්ලක් එක්ක කිරි තේ එකකට වඩා ඒ වතුර වීදුරුවෙන් ඔහු සතුටට පත්වන බව සිහි තබාගන්න.
කතුවරිය ගැන
දීපිකා ගුණසේන මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.