දස මසකින් පසුව දරුවෙක් මේ ලෝකයට බිහි කිරීම ඉතාම අවදානම් කටයුත්තක්. කොටින්ම ජීවිත දෙකක ආරක්ෂාව සමග අතුරු සංකුලතාවයන් නැතුව අම්මයි දරුවයි දෙන්නාගේම ජීවිත ආරක්ෂාවෙන් සිදු වුනොත් මහත් ආශ්චර්යක් විදිහට සලකන්න පුලුවනි. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නොමැති යුගයකදී මාතෘ මරණ වගේම නව ජන්ම දරුවන්ගේ මරණ අනුපාතය ඉහල ගියත් අද වෙන විට ඒ තත්වය බොහෝ දුරට පහළ යෑමේ ප්‍රවනතාවයක් තිබෙනවා. පුහුණුව ලත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩල වලින් මේ සදහා විශාල පිටුවහලක් ලැබෙනවා. නිල වාර්තාවලට අනුව පාකිස්තානයේ ගැබිණි මව්වරුන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට වින්නඹු මව්වරුන්ගේ සහය නොලැබේ.
ඒත් මේ ගැන තවමත් සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. හිමාලය වැනි දුෂ්කර කලාපයන්හිදී ඇතැම් ගැබිණි මව්වරුන් තමාගේ දරු ප්‍රසුතිය වෙනුවෙන් කිසිවෙකුගේ සහයක් නොලබන තත්වයට පත්ව සිටිනවා. මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණු යුගයක මෙවන් පුවතක් සමහර විට ඔබ විශ්වාස නොකරන්නත් පුලුවනි.
මේ වගේ දුෂ්කර කලාපයක ගැබිණි මව්වරුන්ගේ සහයට ඇයට දැන් අපූරු කාන්තාවක් උදව්වට සිටිනවා. ඇය නමින් “ෂබානෝ” දැනටමත් මේ කාන්තාව විසින් මව්වරුන් සියයකට වඩා වැඩි සංඛ්‍යාවකට ඔවුන්ගේ දරු ප්‍රසුතිය වෙනුවෙන් උදව් වී සිටිනවා. ඒ නිසාම ඇය “සුපිරි කාන්තාවක්” යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙනවා. තමන්ගේ සේවය ගැන ෂබානෝ බී.බී.සී පුවත් සේවයට මේ විදිහට අදහස් දක්වා තිබුණා.
“මගේ පළමු දරුවා උපදිනකොට මුළු ගමටම වින්නඹුවක් හිටියේ නැහැ. උදව්වක් නැතිව දවස් දෙක තුනක් මම විලිරුදාවෙන් ගත කළා. දරුවා ඉපදුනාට පස්සේ වින්නඹුවක් වීම සඳහා පුහුණු වීමට මම හිතා ගත්තේ විලිරුදාවෙන් වේදනා විඳිමින් සිටියදී… මම වින්ද වේදනාව නිසයි.” මේ වේලාවට කාගේ හෝ සහයෝගයක් තිබෙනවා නම් එය ගැබිණි අම්මා කෙනෙකුට විශාල ශක්තියක්.
“හිමාලය කියන්නේ බොහොම දුෂ්කර අඩවියක්. මේ ප්‍රදේශවල ගමින් ගමට ඇවිදීමත් අපහසුයි. හිමාලයේ පහසුකම් නැහැ අඩුම තරමේ කාර් එකක් හොයා ගන්නවත් නැහැ. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ආර්ථික අග හිගකම්වලින් පීඩාවට පත් වුන පිරිසක්. ඔවුන්ට මුදල් නැති නිසා වෛද්‍ය පහසුකම් තිබෙන පලාත්කට යෑමටවත් නොහැකියි. ඒත් ඕනෑම රැයක දවාලක මට කතා කළොත් මම උදව්වට එනවා. මම මේ සඳහා මුදල් අය කරන්නේ නැහැ. එක්කෙනෙක් තේකකින් සංග්‍රහ කරන්න පුළුවන්. තව කෙනෙක් රුපියල් සීයක් දෙන්න පුළුවන්. ”
ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා ඔවුන් වෙත යන ෂබානෝ ගුණ කෑම වර්ග සහ අනුගමනය කළ යුතු දේ පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබා දෙන්න සූදානම්. මුලින්ම මම මේ කටයුත්ත පටන් ගත්තා. දැන් නම් තවත් හතර දෙනෙක් මගේ සහයෝගයට සිටිනවා. ගැටළුවක් නැත්නම් මම තනියම දරුවාගේ ප්‍රසුතිය සිදු කරනවා. දැන් ඇය වෙනුවෙන් යම් දීමනාවක් ලබා දීමටත් පකිස්ථාන රජය කටයුතු කර තිබෙනවා.
මේ අන්දමට වින්නඹුකම් කිරීමට තමා සූදානමින් සිටියත් මේ කලාපයට තවත් පුහුණු සේවිකාවන් ඇතොත් එය ගැබිණි මව්වරුන්ට විශාල සහනයක් විය හැකි බැව් ඇගේ අදහසයි. තමන්ගේ දෑතින් දරුවෙක් අරගෙන අම්මාගේ දෝතට දීම තරම් සතුටක් තවත් නැහැ. ඒ වගේම මේ හැම දරුවෙක්ම මගේම දරුවෙක් වගෙයි. ඔවුන් උස් මහත් වෙලා දැන් සමහර දරුවෝ පාසල් යනවා. එතකොට මට ඇති වෙන සතුට වචනයෙන් කියන්න බැහැ. මගෙන් සිද්ධ වෙන මේ සේවය නිසා අම්මා කෙනෙකුට දරුවෙක් බිහි කරන අවදානමේදී ලැබෙන්නේ ලොකු හයියක්. ඒ වගේම ඔවුන්ගෙන් මට ලැබෙන කෘතඥතාවය නිසා දෙවියනුත් මා ගැන සතුටින් පසු වෙනවා කියල මට හිතෙනවා.
– බී.බී.සි ය ඇසුරෙනි –