ලංකාවේ මල් වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. ඒ අතරට ඕකිඩ් මල් වලටද සුවිශේෂී තැනක් හිමිවේ. ලංකාවේ පහතරට ප්‍රදේශවල මෙන්ම උඩරට ප්‍රදේශවලද ඕකිඩ් වගාවන්දක්නට ලැබෙන අතර එහිදී ඕකිඩ් ශාකයේ විවිධ වර්ග හමුවේ. සමහර ඕකිඩ් මල් පිපුණු විට මුළු පලාතම සුවඳවත් කරන අතර තවත් සමහරක් ඕකිඩ් මල් වලින් දුර්ගන්ධයක් ගෙන එයි. ප්‍රධාන වශයෙන් ලංකාවේ දේශගුණික තත්වය මත ඕකිඩ් මල් වර්ග 05 ක් පමණ වැඩේ. ඕකිඩ් උඩවැඩියා නමින්ද හදුන්වන අතර ඔකිඩේසියේ කුලයට අයත් වේ. භෞමික හා අපිශාක ලෙස ලොව පුරා පැතිරී ඇති ඕකිඩ් විවිධ දේශගුණික තත්ව යටතේ වර්ධනය වේ. ගණ 750 කට පමණ බෙදා වෙන් කොට ඇති ඕකිඩ් විශේෂ 19,000 ක් පමණ දැනට හදුනාගෙන ඇත. ඩෙන්ඩ්‍රොබියම්, වැන්ඩා, කැටලියා, ඔන්ඩීසියම්, සිම්බීඩියම්, පැලනොප්සීස් ආර්ථික වශයෙන් වැදගත් වන අතර පහසුවෙන් අප රටේද වගා කල හැකිය.
ඕකිඩ් යනු වර්ෂා වනාන්තර වල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ කෘතීම පරිසරයකදීද වගා කල හැක. උසස් මල් නිශ්පාදනයක් සදහා පහත රට තෙත් කලාපයේ පහසුවෙන් වගා කල හැකි අතර ඇතැම් ඕකිඩ් වර්ග මුහුදු මට්ටමේ සිට අඩි 4000කට වඩා ඉහල ප්‍රදේශ වලද වගා කල හැකිය. ඕකිඩ් වගාව සදහා 70% -75% ක් ආර්ද්‍රතාවයක් හා 55% – 60% ක් අතර සූර්යාලෝකයක් තිබීම වැදගත් වේ.
ඕකිඩ් වගාව සඳහා තෝරා ගන්නා ශාක වර්ගය අනුව සුදුසු වන දේශගුණික තත්ත්වය ලබා දීම ඉතා වැදගත් ය. අප රටේ මේ සඳහා හඳුනාගත් ප්‍රදේශ ලෙස පහතරට තෙත් කලාපය, මධ්‍ය කඳුකර ප්‍රදේශ, අතරමැදි කලාපීය ප්‍රදේශ නම් කළ හැකි ය. මේ දේශගුණික සාධක අතර උෂ්ණත්වය පිළිබඳව සලකා බැලීමේ දී ශාකයේ වර්ගය අනුව වෙනස් වන උෂ්ණත්ව තත්ත්වයන් පවතී. දහවල මෙන්ම රාත්‍රී උෂ්ණත්වය ද ශාක වර්ධනය කෙරෙහි බලපාන බව අමතක නො කළ යුතු ය. වර්ධනය කෙරෙහි පමණක් නො ව මල් හට ගැනීමට ද උෂ්ණත්වය බලපානු ලැබේ.
ආර්ද්‍රතාව ශාකයේ වර්ධනය, මල් හට ගැනීම, හට ගන්නා මල් කිනිති ප්‍රමාණය, මල්වල වර්ණය ආදී සියලු ම දේ කෙරෙහි බලපාන සාධකයකි. මේ නිසා වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය ය. පැළ ගෘහ තුළ පවා පායන කාලවල කෘත්‍රිමව ජල මීදුම් ලෙස විසිරවනුයේ මේ ජල වාෂ්ප ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට ය.
හිරු එළිය ද ශාකවල සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වේ. උඩවැඩියා ශාකය උදෑසන හිරුඑළිය ප්‍රිය කරන ශාකයකි. සෘජුව ම උදෑසන හිරුඑළිය ලැබීමට සැලැස්‌වීම වැදගත් ය. එමෙන්ම දවසේ වැඩි කාලයක් හිරුඑළිය ලැබීම ශාකයට හිතකර ය. එහෙත් දිවා කාලයේ හිරු එළිය ශාකයට සෘජුව ම ලැබුණ හොත් ශාකය පිළිස්‌සී යයි. එම නිසා පාලනයකින් යුතු ව ශාකයට හිරු එළිය පතිත විය යුතු ය.
ඕකිඩ් වගාවක ආරම්භය හොඳ පැළවලින් සිදු කළ යුතු ය. වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඇති සාමූහික බඳුන් “කොම්පොසිට්” ලෙස හඳුන්වයි. මේ බඳුනක පැළ 25-30 පමණ බොහෝ විට පවතී. විශ්වාසී ස්‌ථානයකින් පැළ ලබා ගැනීම ඉතා වැදගත් ය. ලාභයට ලබා දෙන පැළවලින් ගැටලු මතු විය හැකි ය. මූලික වශයෙන් යොදන අධික වියදමෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නම් මනා වර්ධනයකින් යුතු නිරෝගී, වැඩි ආදායමක් ලැබෙන, පරිසරයට ගැළපෙන වර්ග තෝරා ගත යුතු ම ය. සාමාන්‍යයෙන් අඟල් 2-3 අතර උසකට වැඩුණු පැළ තනි බඳුනක වගා කිරීම සුදුසු ය.
මේ සඳහා යොදාගනු ලබන විශේෂිත බඳුන් ඇත. බහුලව භාවිත කරන්නේ මැටි බඳුන් ය. පැතිවල සහ පතුලේ සිදුරු සහිත උඩවැඩියා වගාවට යොදා ගන්නා බඳුන් වෙළෙඳපොළේ තිබේ. ලී පටිවලින් සැකසූ බඳුන් ද මිල දී ගත හැකි ය. වැන්ඩා වර්ගය දික් වූ මුල් සහිත ය. ඒ වර්ග සඳහා මේ ලී පටිවලින් සැකසූ බඳුන් යොදා ගනු ලබයි.
බඳුන්වලට යොදන මාධ්‍යය ද උඩවැඩියා සඳහා ම විශේෂිත ය. අපිශාක ලෙස වගා කරන උඩවැඩියා සඳහා අඟුරු සමග උළු කැබැලි, ගඩොල් කැබැලි ආදිය යොදා ගනියි. සමහර දෙනෙක් අඟුරු සමග පොල් ලෙලි කැබැලි ද යොදා ගනිති. මේ වගා මාධ්‍යයෙන් පැළවලට පෝෂණය සැපයීමක් සිදු නො වේ. එම නිසා මේ මාධ්‍ය යොදන විට හොඳින් ජලය බැස යන ලෙසත්, මුල්වලට වාතාශ්‍රය ලැබෙන ලෙසත් තෝරා ගැනීම අවශ්‍ය ය. මුලින් සඳහන් කළ ආකාරයට සාමූහික බඳුනක ඇති පැළ අඟල් 2-3 පමණ වූ පසු අඟල් 2 පමණ බඳුන්වලට මාරු කළ යුතු ය. මෙසේ පැළ බඳුනේ සිටුවන විට මැරී ගිය පත්‍ර කැබැලි ආදිය ඉවත් කර තනුක කැප්ටාන් ද්‍රාවණයක විනාඩි 5ක් පමණ ගිල්වා තබා සිටුවා ගැනීම යෝග්‍ය ය. ඉන්පසු බඳුනේ අඟල් 1/2 -3/4 පමණ වූ අඟුරු කැබැලි කීපයක් තබා බඳුන තුළ පැළය සිරස්‌ව රඳවා ගනු ලබයි. එම පැළය අඟල් 6ක් පමණ උස හා විෂ්කම්භය ඇති බඳුනකට මාරු කළ යුතු ය. බඳුනේ එක් කෙළවරක අඟල් 9ක් පමණ වූ ආධාරකයක් රඳවා බඳුනේ 2/3ක් පමණ අඟල් 1ක් පමණ අඟුරු කැබැලිවලින් පුරවා අඟල් 2 බඳුනෙන් ඉවත් කළ පැළ මේ බඳුනට මාරු කරගෙන ආධාරකයට තබා ගැට ගසා ගැනීම අවශ්‍ය ය. මේ අවස්‌ථාවේ දී ම මිය ගිය ශාක කොටස් ඉවත් කර ගැනීමත්, කැප්ටාන් ද්‍රවණයක ගිල්වා තබා සිටුවා ගැනීමත් සෞඛ්‍යාරක්‍ෂිත ය. පැළය තැන්පත් කර නැවතත් අඟුරු කැබැලිවලින් පුරවාගත යුතු ය.
උඩවැඩියා වගාව සඳහා යොදන මාධ්‍ය නිවැරැදි ආකාරයට සිදු කිරීම ප්‍රතිපලදායක බව වටහාගත යුතු ය. වාණිජ වගාවක් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් මල් අවශ්‍ය ය. නිසියාකාර පරිසර සාධක ලබා දීමෙන් ද නිවැරැදි මාධ්‍ය යෙදීමෙන් ද පැළෑටි පෝෂක නිවැරැදිව ලබා දීමෙන් ද සාර්ථක ප්‍රතිඵල ලැබේ. එසේ නැතිව මල් හට ගත්ත ද ඒවායේ තත්ත්වය උසස් නො වේ.
පෑළෑටිවලට ජලය යෙදීම ද සැලකිල්ලෙන් කළ යුතු ය. ජලයේ පිරිසිදු බව ද ඉතා වැදගත් ය. ළිං ජලය, වැසි ජලය යෝග්‍ය වන අතර ක්‌ලෝරීන් සහිත නළ ජලය වගාවට හිතකර නො වේ. නළ ජලය පැය 24ක පමණ කාලයක් වාතාශ්‍රයට නිරාවරණය කර තබා භාවිතයට ගත යුතු ය. ජලය යෙදීමට පෙර බඳුන් වියළි තත්ත්වයේ තිබිය යුතු ය. වැසි සහිත හෝ අඳුරු සහිත කාලගුණයක් පවතී නම් ජලය යෙදීම සුදුසු නො වේ. සාමාන්‍ය හිරු එළිය පවතින විට දවසට වරක් ද වියළි කාලගුණය පවතින විට දවසට දෙවරක් ද ජලය යෙදීම අවශ්‍ය වේ.