අරාබියට ලැබුන සුවිශේෂී තෑග්ග

dr-suleka

ඉන්දියාවේ මහාරාස්ට ප්‍රාන්තයේ උපත ලද “සුලේකා ඩාවුඩ්” නාග්පූර් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසුව ඇය කුවේටයේ ඇමරිකානු මීසමක වෛද්‍යවරියක ලෙසින් සේවයට සම්බන්ධ වූවාය.

නාරි හා ප්‍රසව වෛද්‍යවරියක වූ ඇය කුවේටයට පැමිනීමත් සමග මෙම ඇමරිකානු මීසම ඇයට දන්වා සිටියේ ඩුබායි රාජ්‍ය රෝහලේ සේවය වෙනුවෙන් පිටත්ව යා යුතු බවයි. 1963 වැනි ඈත වසරක කිසිදු පහසුකමක් නොතිබුන නිසා මෙතරම් දුරබැහැර ප්‍රදේශයක සේවය කිරීම වෙනුවෙන් පිටත්ව යෑම අවිවාහක මුස්ලිම් තරුණියක ලෙස ඇය ඉදිරියේ විශාල අභියෝගයක් විය. එහෙත් සුලේකා පසුබැස්සේ නැත. මුස්ලිම් සම්භවයක් ඇති ඇගේ දෙමව්පියන්ද ඒ වෙනුවෙන් කිසිදු බලපෑමක් ඇති කලේ නැත. මේ නිසාම සුලේකා ඩාවුඩ් විසින් එදා ඇය විසින් වින්දනය කරන ලද අත්දැකීම අදටත් සිහිපත් කරන්නේ ඉතාම සතුටින්ය.

“ගුවන්තොටුපොලක්වත් නැති ඩුබායි රටට අපි පැමිණියේ පැරෂුට් වලන් බැස්සා වගෙයි… එතැන තිබුනේ ධාවන පථයක් විතරයි…”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇගේ විහේෂඥතාවයට මුල්තැන ලැබුනේ නැත. ඇයට සේවය කිරීමට වූයේ කුඩා කාන්තාර මඩුවකය. ගිනියම් අව්වේ දැවෙමින් සේවය කරන අතර ඔවුන්ගේ වාහන පවා වැල්ලේ එරීමෙන් අති වුන අපහසුතාවයන්ගේ අවසානයක් නොවීය.ඇයගේ විෂය නාරි සහ ප්‍රසව වුනත් සුලේඛාට සේවය කිරීමට සිදු වූයේ සර්ප දෂ්ටන සහ පිලිස්සුම් රෝගීන් වෙනුවෙන්ය.මෙම අවධිය වෙන විට අරාබියේ පැතිරී ගිය රෝගාබාධයාන්ගේ සීමාවක් නොවීය. දරු ප්‍රසුතියකදී මවගේ සහය වෙනුවෙන් කාර්ය මණ්ඩල සිටියේ නැත. පාචනය, ක්ෂය රෝගය, වැනි බෝවෙන‍ රෝගාබාධයන්ගෙන් ජනතාව දැඩි සේ පීඩාවට පත්ව සිටියහ. මේ සියළු අසීරුතා මධ්‍යයේ ඇයගේ හිත නිරන්තරව ඇගෙන් විමසා සිටියේ “ඔබ සේවය කළ යුත්තේ මහජනතාවට නොවේද… ?” යන පැනයයි.

ඇය සමග පැමිණි බොහෝ කාන්තා වෛද්‍යවරු පමණක් නොව පිරිමි වෛද්‍යවරුන් පවා සිරියාව සහ ලෙබනනය වැනි ඔවුන්ගේ ගම්රටවල් බලා ගියහ. ඔවුන් එසේ ආපසු ගියේ මෙම දුෂ්කර කලාපයේ සේවය ඔවුන්ට ඔරොත්තු නොදෙන නිසාය. එහෙත් පවතින පරිසර තත්වය තුළම සේවයේ යෙදිය යුතුය යන ස්ථාවරය මත ඇය අධිෂ්ටානය ගොඩ නගා ගත්තාය.

මෙම පරිත්‍යාගශීලි වෛද්‍යවරියගෙන් රෝහල් අමාතයාංශය තවත් සේවාවක් ඉල්ලා සිටියාය. ඒ “සාජා” නගරයේ තවත් සායනයක් ආරම්භ කිරීමයි. ඇගේ ජීවිතයට බද්ධව තිබුන සත්කාරක ගුණය නිසාම ඇය කිසිදු පැකිලීමක් නොමැතිව ඒ වෙනුවෙන් ඉදිරිපත් වූවාය. මේ නිසාම අරාබියේ ඇය ගැන ගොඩ නැගුන කීර්ති නාමය වූයේ අරාබිය ලද සුවිහේෂී ත්‍යාගයක් බවයි.

රටක් රාජ්‍යක් වුනත් සදාකාලකව එක තැන පවතින්නේ නැත. 1971 න් පසුව ඇති වුන නව පිබිදීමත් සමග මෙම රාජ්‍යන්හි රෝහල් සේවාවන්ද දැවැන්ත පෙරලියකට මුල පුරන ලදී.වෛද්‍ය පහසුකම් සහිතව යටතල පහසුකම් සංවර්ධනය විය. ජනතාවගේ ජීවන තත්වය උසස් විය. ආර්ථික ශක්තියෙන් ලත් හැකියාව නිසා සුලේකාගේ ව්‍යවසායකත්වයටත් නව ජවයක් ඇති විය.

ඇය යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත්තාය. පෞද්ගිලක රෝහලක් ආරම්භ කිරීමට දැන් කාලය එළැඹ ඇත.ඇය සිතුවාය.ඇය විසින් පෞද්ගලික රෝහලක් ආරම්භ කිරීමට මුල පුරන ලදී.

ඇගේ අරමුණ දැන් සැබෑවී ඇත. අද වෙන විට සුලේකා ඩාවුඩ් පෞද්ගලික රෝහල් තුනක හිමිකාරිනියක වේ.ඉන්දියාවේ උපත ලද සුලේකා අද අරාබියට අයත් යැයි අරාබි එක්සත් එමීර් රාජ්‍යය පවසන අතර ඔවුන් ඇය සලකන්නේ අරාබියේ පළමු දොස්තරවරිය ලෙසයි.

අද ඇය එක්සත් අරාබි එමීර් රාජයයේ සුලේකා රෝහල් ජාලයේ අධ්‍යක්ෂවරියයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෛද්‍ය සේවාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලද ඉන්දීය නාකයයින් සියදෙනා අතරට ඇගේ නමත් එක්ව ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති විසින් සුලේකාට ඩුබායි රාජ්‍යයේ ගුනාත්මක සේවාවන් වෙනුවෙන් ත්‍යාග පිරිනමා ඇති අතර ඇය දරු උපත් දසදහසකට පමණ දායකත්වය ලබා දී තිබේ.

2004 වසරේදී සුලේකා විසින් නාග්පූර්හි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර පිරිසිදු පානීය ජලය වෙනුවෙන් වූ ව්‍යාපෘතියක් නාග්පූර්හි පිහිටුවන ලදී.2010 වසරේදී ලෝක බැංකු කන්ඩායමක් විසින් ඇගේ රෝහල් ජාලය වෙනුවෙන් ඩොලර් මිලියන 24 ක් ලබා දෙන ලද අතර එයින් ඩොලර් මිලියන තුනක් නාග්පූර්හි රෝහල් සංවර්ධනය වෙනුවෙන් යොදවා ඇත. මෙතෙක් ලද සම්මාන හා උපහාර මගින් මෙම කාන්තාව විසින් සිදු කරන ලද සමාජ මෙහෙවර මෙන්ම ව්‍යවසායකත්ව හැකියාව ඇගයීමට පත්ව තිබේ.

  • 2012 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඩුබායි රාජ්‍යය වෙනුවෙන් අනභිභවනීය සේවාවක් වෙනුවෙන් වූ කාන්තා දායකත්වයට සම්මාන
  • 2012 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශිෂ්ටතම නාරි හා ප්‍රසව රෝග වෛද්‍යවරිය ලෙසින් සම්මානය
  • 2012 වසරේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් යාවජීව සම්මානය
  • 2013 වසරේදී ගල්ෆ් දේශයේ ජීවත්වෙන බලගතු ඉන්දියානු කාන්තාව ලෙසින් Economic Times සම්මානය
  • 2013 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදපෙරදිග වෙසෙන ප්‍රබල ඉන්දියානු කාන්තාවන් 100 දෙනා අතරට ඇය එක්ව ඇත
  • 2015 වසරේ ගෝලීයකරණය තුළ ප්‍රබල කාන්තාවන් 20 දෙනා අතරට ඇගේ නම එක්වීම
  • ඉන්දියාවේ ධනවත් කාන්තාවන් අතර ඇය 33 වැනි ස්ථානයට පත්ව සිටින්නීය
  • 2015 වසරේදී ඇය සම්මාන ලැබුවේ 21 වන සියවසේ අනර්ඝතම ව්‍යවසායිකාව ලෙසටයි

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here