හරි හුරතලේට ගෙයි එහා මෙහා දුව පැනපු ඇය දැන් තරුණියක් වෙලා. අම්මට තාත්තටත් වඩා ඇයගේ බර දැනෙන්න පටන් ගන්නේ අපේ වටපිටාවට. එහෙම නේද? ඉතිං ගැහැණු දරුවෙක් ගෙදර ඉන්න එකේ බර දරාගෙන නොඉවසිල්ලෙන් ඉන්න අපේ වටපිටාව ඒ බරින් නිදහස් කරලා දීගෙක යන දවස ආවම කොයි කාටත් ඒක නම් සතුටක් තමයි.
ඔබත් යන්න අන්න ඒ දවසට… අම්මා තාත්තාගේ අතැගිල්ලෙන් ගිලිහිලා ඇය ඔබේ ඇතැගිල්ලේ පැටලූණ ඒ සුන්දර දවසට. හොඳට මතක් කරන්න ඇය අතේ වෙන මොනවත් තිබුණද කියලා.. නෑ… සුන්දර මනාලියක් ලෙස සැරසිලා සැමියා වෙත එන මොහොතේ ඇය අතේ තිබුණේ සුන්දරව සැකසුණු මල් කළඹ විතරයි. ඒත් අද, ඇගේ දෑතේ ඔබේත් ඇගේත් දරු පැටවුන් එල්ලිලා. ඇත්තටම ඇය දැන් අම්මා කෙනෙක්. ඒ සැමියා සහ ඇය එක්ව ගොඩ නැගූ නැවුම්ම ලෝකය. කොයිතරම් කාර්ය බහුල වුණත් කොයිතරම් වෙහෙස වුණත් කොයි තරම් අපහසු වුණත් ඒ ලෝකයට පණ පොවන්න ඇය වෙහෙස වෙනවා. කොයිතරම් දුරට අධ්‍යාපනික සුදුසුකම් තිබුණත් කොයි තරම් ඉහළ තලයක රැකියාවක් කළත් දෙපාරක් නොසිත ඇය ඒ හැම දේම අත්හරින්නේත් තමන්ගේ පවුල වෙනුවෙන්.
දැන් ඇය, ඔබේ බිරිඳ, ඔබේ අම්මාටම සමානයි. ඉතිං ඔබට බැරි නැහැ නේද ඔබේ අම්මා පිට පැටවී තිබුණ ඒ වගකීම් ගොන්න සිහිකරගන්න. මතක් කරන්න..ඉක්මනට …ඉස්සර ඔබේ අම්මා
උදේ පාන්දර නැගිටිනවා. තාත්තාගේ කෑම පාර්සලය, පාසැල් යන ඔබේත් ඔබේ සහෝදරයන්ගේ කෑම පාර්සල වගේම උදේ තේ එක, උදේ කෑම වේල මේ හැමදේකම වගකීම ඇය සතුයි.
ඔබට මතක් වෙනවා නේද? “පුතා නැගිටින්න, නැගිටින්න… ඉස්කෝලේ යන්න පරක්කු වෙනාවා. එන්න මේ කිරි එක බීලා මූණ සෝදගෙන ලෑස්ති වෙන්න.” ඒ තමයි එදත් අදත් අම්මාගේ චරිතය.
හැම කෙනෙක්ම ගෙදරින් පිටවුණාට පස්සේ අම්මා මොනවා කරන්න ඇති කියලද ඔබට හිතෙන්නේ. ඒ ගැන හිතන්න දෙයක් තියෙනවද?
මොනවද ඔච්චර තියෙන වැඩ… ටීවි බලනවා ඇති. එක්කෝ නිදාගන්නවා ඇති.. එහෙමද ඔබත් හිතන්නේ… ඔබේ අම්මත් කළේ එහෙමද?
ඔබට ටිකක් හිතන්න පුලූවන් නේද ඊලග දවසේ ඔබ ඇහැරුනාම…
ඊලග දවසේ උදේ වෙනකොට කිලිටි ඇඳුම් සේදිලා අයන් වෙලා රැක් එකේ එල්ලිලා. කිලිටි වෙලා තිබුණ සපත්තු සුදට සුදේ දිලිසෙන්න අරගෙන. ගඳට තිබුණු මේස් කූට්ටම් සුවඳ වෙලා, ඇඳුම් ළඟට ගිහින්. මුලූතැන්ගෙයින් එන කෑම ඉවෙන සුවඳ… මේසේ උඩ වහලා තියෙන් කිරි කෝප්ප ටික වගේම දිවා ආහාරය ඇසුරුම් කළ බඳුන්… වතුර පිරුණු බෝතල්…මේ දේවල් වෙන්නේ මැජික් බලයකින් කියලාද ඔබට හිතෙන්නේ. ජීවිතේ කියන්නේ සුරංගනා කතාවක් නම් නෙවෙයි.
ඉතිං දැන් හිතන්න, අම්මා කෙනෙක් කොහොමද මේ හැමදේම කරන්නේ, සහායිකාවක් නැතුවම. අම්මා කියන්නේ දකෂයෙක්. ඒ වගේම එයා අකමැතියි තමන්ගේ දරුවගේ සැමියාගේ වැඩ කටයුතු මග හැරෙනවාට. ඒ නිසාම තමයි ඇය, ඇය ගැන හිතනවට වඩා පවුල ගැන හිතන්නේ. මේ දේවල් ඇයට දුකක්වත් කරදරයක්වත් නෙවෙයි. හැම අම්මෙක්ම තමන්ගේ පවුල වෙනුවෙන් කරන හැමදෙයක්ම කරන්නේ හරිම සතුටකින්.
ඔබත් හිතන්න ඔබේ බිරිඳ ගැන. හැකි හැමවෙලාවකම ඇයට සහය ලබාදෙන්න. ඔබ දෙදෙනාගේ දරුවන්ට සුළු තුවාලයක්වත් වෙන්නට නොදී කවා පොවා පරිස්සම් කරගැනීම සම්බන්ධයෙන් කෘතඥ වෙන්න. පාසැල්වලට නියමිත වේලාවට ගොස් දරුවන් කැටුව විත් ඔවුන් නාවා, කවා පොවා පාසැලේ වැඩ සම්පූර්ණ, ඊළඟ දිනයට පාසෙලෙන් ගෙන එන්නට කියූ දේ සූදානම් කරවීම වැනි වටිනා මෙහෙයයන් ගැන සතුටු වෙන්න. ඒ දේවල් සිදුවෙන්නේ ඇය අතින් මිසක් වෙනත් ආකාරයකින් නොවන සිතන්නට ඔබ පැකිලෙන්නේ ඇයි කියා ඔබ ඔබගෙන්ම විමසා බලන්න.
මේසා වැඩ රාජකාරී රැසක් තනිව කරන ඇය අතින් සිදුවෙන සුළු අඩුපාඩුවක් ගැන කෑ කෝ ගැසීම ඔබව ලැජ්ජාවටත් දරුවන් ඉදිරියේ පවා අප්‍රසාදයටත් පත්වන බව සිහිතබාගන්න. මන්ද දවස පුරා අම්මා අතින් ඉටුවන රාජකාරී සියල්ලටම සාකෂි දරන්නේ දරුවන් වන බැවින් ඔබේ මෙම හැසිරීම් දරුවන්ට පවා ඔබ පිළිබඳව අප්‍රසාදයක් ඇති කරනු නිසැකය.
දරුවන් සිටන නිවසක මවට වැඩකටයුතු සඳහා සහායිකාවකද නොමැති නම් පිළිවෙළ සෑම මොහොතකම ඒ ආකාරයෙන් පවත්වා ගැනීම අපහසු කටයුත්තකි. ඇය වෙත පැවරුණු අනිවාර්ය වගකීම් ගොන්න නොපිරිහෙලා ඉටු කර, දවසක් මුලූල්ලේ දරුවන් රැකගන්නා ඇයට නිවස අපිළිවෙළ යැයි කෑ මොර දෙන්නට සැමියෙක් ලෙස ඔබ ලැජ්ජා විය යුතුය. ඒ වෙනුවෙන් ඇයට ඔබේ සහයෝගය ලබාදෙන්න. රැකියාවට පිටත්ව ගිය ඔබටත් වෙහෙසකර බව සැබෑවකි, නමුත් වායුසමනය කරන ලද කාමරයක පුටුවක අසුන් ගෙන ඔබ කරන රාජකාරියටත් වඩා දරුවන් කිහිප දෙනෙක් සමග ඔට්ටු වෙමින් ඉවුම් පිහුම්, පාසැල් වැඩ ඇතුලූ නිවසේ රාජකාරි බොහොමයක් ඉටු කරන ඇය “ඔයා දවස තිස්සේ මොනවද කළේ ?” යැයි විමසුවොත් ඔබ පවුල වෙනුවෙන් මුදල් සෙවීම වෙනුවෙන් ගන්නා වොහස ගැන බිරිඳට කිසිදු හැගීමක් නොමැති යැයි ඔබට සිතෙනු ඇත. ඔබ එවන් ගැටලූවක් ඇයට යොමුකළහොත් ඇයට හැගෙන්නේද එලෙසමය.
තමා ලැබූ අධ්‍යාපනය පවා අතහැර දමා ඔබ දෙදෙනාගේ ලෝකය වෙනුවෙන් සියයට සියයක්ම කැපවුණ ඇය ගැන කාරුණික මෙන්ම ආදරණීය ඇසින් දකින්නට පුරුදු වෙන්න. බිරිඳ ඔබේ මෙහෙකාරිය නොව සහකාරිය බව අමතක වී ඇති සෑම විටෙකම නැවත නැවත සිහිකරගන්න. ඇයත් ඔබ වගේම තම යෙහෙළියන් හමුවන්න, විනෝද වෙන්න, නිදහස භුක්ති විඳීන්න කැමති බව ඔබ සිතන්න. ඔබත් ඔබේ නිවසේ කටයුතුවලින් කොටසක හෝ වගකීම පවරගන්න. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතය විඳවන්නට විඳීන්නට ඇයටත් අවස්ථාවක් ලබාදෙන්න.