ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ඖෂධයක්. අපි විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරන්නේ රෝගී වූ විට නේ. අපිට මෙතරම් සැප තිබුණත් වැඩක් නැහැ. නිරෝගී සුවය නැතිනම් ඖෂධ පාවිච්චි කරලා ඇඟේ ලෙඩ සුව කරගත්තට හිතේ ලෙඩ සුව කර ගැනීම පහසු නැහැ. කය ලෙඩ කරගන්නේ නැතිව අවුරුදු ගාණක් ඉන්න පුළුවන් වුණාට එක මොහොතක්වත් සිතේ ලෙඩ නැතිව ඉන්න බැහැ කියලා දහමෙහි දේශනා කළා. ඇත්තටම සිතේ ඇති වන කනස්සලු බව නැති කර ගන්න අපි හැමෝටම තියෙන හොඳම මඟ තමයි අමා මෑණි තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සෙ දේශනා කළ ධර්මය.
සැපය, සංතෝසය, ප්‍රීතිය, සතුට, සෑම කෙනකුටම සුවයක් හෙවත් මිහිරක් ගෙන දෙයි. ජීවිත කාලය තුළම අප උත්සාහ කරන්නේ එය ලබා ගැනීමටයි. මෙලොව ජීවිතයේ ලබන ඒ මිහිරියාවේ අවසානය දුකකි.ඉතින් දුක හා දුකට හේතුව තේරුම් ගන්න අපට හදුන්වා දුන් චතුරාර්ය සත්‍ය මාර්ගය බුදු දහමෙහ එන මූලික ඉගැන්වීම් අතර ප්‍රධාන තැනක් ගනී.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් නැති කොට විමුක්තිය සාක්ෂාත් කල හැකිය. එසේ විමුක්තිය සාක්ෂාත් කරන සසර බැමි සිඳ බිඳ දමන උතුම් වූ මාර්ග ඥානයන් සතරක් වෙයි. ධර්මයෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යනුවෙන් දක්වන්නේ මේ උතුම් මාර්ග ඥානයන් සතරයි. දුක් කෙලවර කරන මෙම උතුම් මාර්ග ඥානයන් එකිනෙක ලබනු සමගම අතරක් නොතබාම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන පල නුවණද ලැබෙයි. අවසන් වශයෙන් උතුම් අරහත් මගපල නුවණ ලබනු සමගම නිවන, නිර්වාණය, විමුක්තිය ප්‍රත්‍යක්ෂ කෙරෙයි.
ඉතින් මේ තරම් වටිනාකමක් තිබෙන ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක ලොකු වාසනාවක්. හැමදාම බණ අසන්න ලැබෙන්නෙ නැහැ. බුද්ධෝප්පාද කාලයක ධර්මය තිබෙන දේශයක බණ අහන්න පුළුවන් හැකියාව ඇතුව ඉපදුනොත් තමයි බණ අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වාසනාව මේ පින්වත් හැම දෙනෙක්ම ලබලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගැනීම අමා සුවයෙන් සැනසෙන්න හේතු වෙනවා.
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව යනු සසර ස්වභාවයයි. ඒ සසර දුක් කෙළවර කිරීමට අප‍්‍රමාදීව ධර්මයෙහි හැසිරිය යුතු ය. උසස් වූ මිනිස් බවක් ලැබීම, අප පෙර කළ මහා පින් මහිමයක විපාකයකි. මේ භවය කුසල් දහම් වැඩීමට තිබෙන පහසුම ස්ථානයයි.
තමන්ට පිහිට තමන්ම ය. අනුන්ගේ සරණක් අනුන්ගේ පිහිටක් ප‍්‍රාර්ථනා කරනවාට වඩා, තමන් පිහිට කොට, තමන් සරණ කොට, ධර්මය පිහිට කොට ධර්මය සරණ කොට වාසය කළ යුතු බව වදාළහ. ධර්මය පහුරකට සමානය. පහුරක් අවශ්‍ය වන්නේ ගඟින් එතෙරවීමට ය. කිසිවෙක් ගඟින් එතෙර වූ පසු පහුර හිස මත තබාගෙන යන්නේ නැත. ධර්මය,ද එබඳු ය. එය සසරින් එතෙර වීමට පිහිට කර ගත යුත්තක් මිස, දැඩිව එල්බ ගත යුත්තක් නොවේ.
එහෙයින් බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගැනීමෙන් මෙලොව ශාන්තිදායක පී‍්‍රතිමත් ජීවිතයක් ගත කළ හැකි ය. එවිට ඔහුගෙන් තමාටත් අනුන්ටත් කිසිදු හිංසාවක් සිදු නොවේ. ඒ ලබන සුවය සසර කෙළවර දක්වාම තමා පසුපස ගමන් කරනු ඇත. එහෙයින් ධර්මානුකූල සිල්වත් ජීවිතයක් ගත කරමින් ශාන්තිය ලබා ගැනීමට සියල්ලෝම උත්සාහ ගත යුතුය.
බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයාගේ කායික, වාචසික සංවරය පිණිස පෙන්වා වදාළ ශීලාදී ප‍්‍රතිපත්ති, ප‍්‍රතිපත්ති ධර්මයයි. එය ශීල සමාධි ප‍්‍රඥා වශයෙන් දක්වා ඇත.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ප‍්‍රතිපත්තිමය ජීවිතයක් ගත කරමින් කෙලෙස් ප‍්‍රහීණ කොට සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් නිවන් අවබෝධ කිරීම, ප‍්‍රතිවේධ ධර්මයයි. එහෙයින් පර්යාප්තිය තිබෙනතාක් කල් ප‍්‍රතිපත්තිය පිරිය හැකි ය. පර්යාප්තිය හා ප‍්‍රතිපත්තිය යන දෙකම ප‍්‍රතිවේධ ධර්මය සඳහා අවශ්‍ය වේ. ධර්මයේ පිහිටීම තුළින් සංසාර දුක් කෙළවර කළ හැකිය.
සැමගේ දුක් නිවීම පිණිස, සැපය පිණිස, පහසු විහරණය පිණිස, අභියෝග ජය ගැනීම පිණිස එකම, සුදුසුම, ඒකායන මගද නොවරදින මගද පිහිටද ධර්මයයි. නමුත් අවාසනාවකට, උතුම් වූ ධර්ම රත්නය අසා එහි පිහිට ලබා ගැනීමට හැකි වාසනාව තිබියදී ධර්ම රත්නය පිළිබඳව නිරවුල් අවබෝධයක් නොමැති කමින් ධර්ම රත්නය පිළිබඳව වරදවා පිළිපැදීමෙන් ඔබ අප බොහෝ දෙනා නොමග යන බවට කරුණු පෙනෙන්නට තිබේ.
මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් මනා කොට දේශනා කරන ලද්දේය. තමන් විසින්ම දැන අවබෝධ කට යුත්තේය. කල් නොයවා මෙලොවදීම විපාක දෙන්නේය. තමා විසින්ම අත්හදා බලා ප‍්‍රතිඵල ලබාගත හැකිය. සිතෙහි දරාගත යුත්තකි. වැඩිය යුත්තකි. අරමුණු කර ගත යුත්තකි. නුවණැත්තන් විසින්ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගත යුත්තකි. මේ සියල්ල ධර්මයේ ඇති විශේෂ ගුණ වෙයි.
දහමෙන් අපගේ ජීවිත හැඩගස්වා ගන්නට කරන මඟපෙන්වීම කෙතරම් ආශ්චර්යයක් ද? ඒ මග නිසි ලෙස තේරුම්ගෙන ලැබූ දුර්ලභ මිනිස් බව උත්තරීතර මිනිසත් බවක් දක්වා උසස් කරගන්නට ධර්මය මහෝපකාරී වේවායි අධිෂ්ඨාන කරගෙන මෙලොවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගෙන අමා නිවනින් සැනසීමට මේ ධර්මය උපකාරී වේවා.