සිංහල අවුරුද්ද වෙස්වලාගත් ආශිර්වාදයක්

punya_ chandanie_woman_Apr 004

සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගෙන කාන්තාවක් විදිහට ඔබ දැන ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. අපි අවුරුද්ද අද එතරම් ආශ්චර්යක් විදිහට නොසිතුවත් අතීතයේදී කාන්තාව අවුරුද්ද ගැන හිතුවේ එය වෙස්වලා ගත් ආශිර්වාදයක් විදිහටයි. ඒ නිසාම ඔවුන් අවුරුද්ද පිලිගැනීමට සැදී පැහැදී බලා සිටියා. ඇත්තටම එයින් ඔවුන්ට වැරදුනේද නැහැ. එදා අවුරුදු කාලය ගැහැණු දරුවන්ට අත හුරු කර ගැනීමට අවස්ථාවක් විදිහට සැලකුවා.මල්වරයට පත් තරුණ ගැහැණු කැවිල පිළියෙළ කිරීමට වගේම පිරිමි දරුවන්ටත් කැත්තේ උදැල්ලේ වැඩට අත හුරුව ලැබීමේ අවස්ථාවක් විදිහටත් මේ කාලය සැලකුනා.

නිවස පිරිසිදු වුණා

සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව නිවස පිරිසුදු කරගෙන ගොම මැටි ගා අලුත් කර ගත්තා. අද දවසට වඩා එදා ඔවුන්ගේ නිවසට අලුත් කළ යුතු බොහෝ දේ තිබුනා. නිවසේ පිදුරු හෝ පොල් අතු වෙනස් කිරීම සහ ගෙබිම ගොම මැටි ගා අලුත් කර ගැනීම ඒ අතරින් ප්‍රධාන වුනා.එයින් නිවසේ පිරිසුදු බව නොදැනම ඇති වුනා.

කැවිළි වලින් පෝෂණය

සිංහල අලුත් අවුරුද්දට හදන කැවිලි පෙවිලි ගැන දැන් බොහොම දෙනා කතා කරන්නේ ඉතාම අසුබවාදී විදිහටයි. අනේ තෙල් කෑම කන්න බෑ…කොලස්ටරෝල් එක්කෙනෙක් මෙහෙම කියද්දී තවත් කෙනක් කියන්නේ පිටි කොටාගෙන, පැණි හදාගෙන , තෙල් හැලි ළඟ ඉන්නවාට වඩා මොනවා හරි කැවිලි ටිකක් කඩෙන් ගේනවා…ඒ එක අදහසක්. ඒත් අම්මලා අත්තම්මලා කියන්නේ අවුරුද්දට තෙල් තාච්චියක් ලිප නොතිබ්බොත් එතැන සිරියාවක් නැති බවයි. කිරිබත් ගැන වුනත් ඒ විදිහට විවිධ අදහස් ගොඩ නැගී තිබෙනවා. කිරිබත් කෑවාම නිදිමත එනවා…ඒත් මුංඇට අපේ සිරුරට පෝෂණය ලබා දෙනවා.

nutrition_info_table

කිරිබත සුබ සලකුනේ පෙරනිමිත්තක් ලෙස සලකන පෝෂණීය ආහාරයක්. රත්, පිත්, රෝග තත්වයන් සමනය කිරීමේ ගුණයෙන් ඉහලයි. ශ්‍රීලංකාව පීතෘ මූලික සමාජයක් බැවින් බිරිඳට සහ දරුවන්ට කිරිබත් පිඬක් කවන්නේ පවුලේ පියා විසින්. අවුරුද්ද පුරාවටම නීරෝගී බව ලැබීමට මෙන්ම පවුලේ ආර්ථිකත්වය හෙවත් ආහාරයන්ගෙන් හිගයක් නොවේවා වන ප්‍රාර්ථනය ඒ අතරම තිබෙනවා. කිරිබත වෙනුවෙන් ගිතෙල්, උදු මුං , තල, උක්හකුරු සහ කිතුල් හකුරු යොදා ගැනේ.

ඇතැම් පලාත්වල කිරිබතට අමතරව හත්මාලුවක් පිළියෙල කරනවා. මෙහිදී මීගමුව වැනි පලාත්වල මුංඇට, කොස් ඇට, වට්ටක්කා දලු, කැකිරි, බිම්මල්, යොදා ගන්නා අතර මාතලේ පළාතේ කිරිකජු, කොස්ඇට, තිබ්බටු, වම්බටු, මෑ, කහට සහ රත්තම්පලා යොදා ගෙන පිලියෙළ වෙනවා. හත්මාලුව පෝෂණයෙන් ඉහලයි.

නැකත් පිටුපසත් විද්‍යාත්මක සත්‍යක් තිබුණා

ආහාර අනුභවයෙන් පසුව වැඩ අල්ලන නැකතට පිරිමි උදවිය මිදුලේ කිරි ගසක අත්තක් කපනවා. කාන්තාවන් වං මෝල් ඇල්ලීම ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන වැඩ ඇල්ලීම සංකේතවත් කරනවා. අද නම් ගණුදෙණු කිරීමේදී මුදලක් හුවමාරු කර ගැනීම අද සිද්ධ වුනත් එදා මේ සිරිත සිද්ධ වුනේ  ලිඳ සමග ගණුදෙණු කිරීමෙන්.කහ, දුරු, වී , සහල් . බෙහෙත් බඩු , අගුරු කැට, තඹ කාසි සහ පිච්ච මල් කිහිපයක් ළිඳට දමා නැවුම් කළයකට ජලය පුරවා ගනිති. මෙම චාරිත්‍රය සමග බැඳුන විද්‍යාත්මක සම්බන්ධතාවයක්ද ඇත. අඟුරුවල ජලය පිරිසිදු කිරීමේ ගුණයක් ඇත. මිනිස් සිරුරට අවශ්‍ය තඹ ජලය සමග සංයෝග වීමෙන් සිරුරට ලැබේ.

අද දවසේ මේ විදිහට සිරිත් අනුගමනය කිරීමට අපහසු වුනත් නැකත් ව්ලාවට දරුවන්ට පාඩම් කටයුතු කරන්න පුලුවන්. යමක් ලියන්න පෙරාතුව ” ස්වස්ති සිද්ධම් ”  යන ආශිර්වාද වාක්‍ය ලියන්න උපදෙස් ලබා දෙන්න.

මේ කාලය කාන්තාවන්ට ඉතා විවේක කාලයක් බැවින් ඔවුන් විවිධ ක්‍රීඩාවන්ට යොමු වෙති. කාන්තාවන්ටම ආවේණික ක්‍රිඩාවන් ඇත. ඔන්චිලි පැදීම, පංච දැමීම, ඔලිඳ කෙලිය වැනි ක්‍රීඩාවන් වෙනුවෙන් කාන්තා සහභාගිත්වය වැඩියෙන් ඇත. ඔන්චිලි පැදීමේදී ගයන වාරම් කවි නිසා සුන්දරත්වයක් ඇති වේ. මේවායේදී සිරුරට ලැබෙන ව්‍යායාමය ත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි ලබන ආශිර්වාදයක් වේ.

හිසතෙල් ගෑමේ විද්‍යාත්මක බව

හිස මිනිස් සිරුරේ උතුම්භාගය සේ සැලකෙනවා. චරකාචාරීන් සඳහන් කරන අන්දමට යමෙක් නිතරම හිසට තෙල් ගල්වන්නේ නම් එම තැනැත්තා හිස රුජාව, කෙස් හැලීම, තට්ටය පෑදීම, අකලට කෙස් පැසීම වැනි රෝගාබාධයන්ගෙන් දුරු වෙනු ඇත.හිසතෙල් ගාන අවස්ථාවට පන්සල හෝ කෝවිල තෝරා ගැනේ. පන්සලේ හාමුදුරුවෝ එහෙම නැත්නම් වෙදමහතා මේ වෙනුවෙන් වූ සුබ පුද්ගලයා‍ වේ. හිසතෙල් සඳහා තෙල් සහ නානු යොදා ගැනේ. නානු වෙනුවෙන් කලාඳුරු අල, කුංකුමප්පු, ගෝරෝචන, විෂ්ණුක්‍රාන්ති, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, ගොඩ මානෙල්, බෙලි  මුල්, වෙනිවැල් මේවා සම සව ගෙන අලුත් මුට්ටියක දමා පත අට දෙකට සිඳවා ගන්නවා.තෙල් වෙනුවෙන් භාවිතා කරන්නේ මී, අබ, කොහොඹ සහ එඩරු වැනි තෛල වර්ලයි.

හිස තෙග් ගාන ස්ථානයේ සුදු වියනක් බැඳ , බිමට පිරුවට දමා ඒ මත එලන ලද පිරුවටයක පුටුවක් තබා ඇත. හිසට හා පයට තබන පත්‍ර කල් තබා නියමිත්ව ඇත. හිසතෙල් ගෑම සෙත්පිරිත් මධ්‍යයේ සිදු වේ. මෙම තෙල් හා නානු ගල්වා ස්නානය කිරීමෙන් අවුරුද්දේ එක් අදියරක් අවසාන වේ.

පැරණි ජීවන රටාවට අධිෂ්ඨානයෙන් යොමු වීම

අලුත් අවුරුදු සිරිත් අවසානයේ පැරණි පුරුදු ජීවන රටාවට යොමු වීම සිදු වේ. සුබ නැකට අදාල දිසාව බලා දෙවියන් බුදුන් සිහිපත් කර ගෙන රැකියාවට යෑම ආරම්භ කරන්නේ මේ එලැඹි නව වසර මගේ සියළු අරමුණු ඉටු වෙන වසරක් වේවාය යන අධිෂ්ඨානයත් සිත තබා ගෙනය. මෙම මානසිකත්වය නිසා තමන්ගේ ආර්ථික කටයුතු පිළිබඳව වඩාත් ශක්තිමත් සිතකින් යොමු වීමේ හැකියාව නොදැනීම ගොඩ නැගෙනු ඇත.

පුදා පිදුම් දෙවියන්හට දෙන හරිය
හදා බත් මාලු සරිකර හිත පිරිය
මුදා කිරිහට්ටි කිසි අඩුවක් නැතුව
මෙදා කෝණ තනියම කන්නට බැරිය

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here