“බින්දු බින්දු වතුර පොදින් මහ වැස්සක් හැලෙනවා
ඒ වැස්සේ වතුර වලින් ඇළක් දොළක් හැදෙනවා
ඇළ දොළ ගංගා ගලලා මහ මුහුදක් හැදෙනවා……”
මා මේ කියන්නේ සත්‍ය කතාවක්.පුද්ගල අත්දැකීමක්…
මගේ මේ කතාවේ කතානායිකාව ගැහැණු ළමයෙක්. අපි එයාගේ නම නෙත්මි කියලා කියමුකෝ. හොඳයි, මේ සිද්ධිය වෙද්දී ඇය 8 වසරේ. හුඟක් දක්ෂ ළමයෙක්. ඒත් අහිංසකයි.සංවේදීයි. දවසක් නෙත්මි ට ගණනක් වැරදුන නිසා ඇගේ පන්ති භාර ගුරුවරිය මහා හයියෙන් ඈට බැන වදිනවා. නෙත්මි ගේ දෙනෙත් කඳුළු කැට වලින් පිරිලා. කඳුළු වැටෙන්න ඔන්න මෙන්න…නෙත්මි ගෙදර ගිහින් වුන දේවල් මුකුත්ම කිව්වේ නැහැ. ඔය කාලයේදීම නෙත්මි ගේ හොඳම යෙහෙළියෝ දෙන්න එකපාරටම කතා නොකර ඉන්න පටන්ගන්නවා. නෙත්මි වැඩිය කතාබහ අඩු ළමයෙක් වෙච්ච නිසා හුඟක් ළඟින් හැම යාලුවෙක් එක්කම ආශ්‍රය කලෙත් නෑ. ඉතින් මෙහෙම දිගටම තමන් ලඟින්ම හිටපු මිතුරියන් දෙන්න කතානොකර මඟහරිද්දී නෙත්මිට එය දරාගන්න බැරිවුණා. හැමදාම පාසල් ආව , ආසාවෙන් වැඩ කරපු නෙත්මිගෙ පාසල් පැමිණීම එන්න එන්නම අඩුවුණා. අම්මා තාත්තා ඇහුවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. හැමදාම උදේට පාසල් යන්න ලං වෙද්දී කොහේ හෝ ගිහින් හැන්ගෙනවා. නැත්නම් ගෙදරින් යන්න හදනවා. නැත්නම් හයියෙන් බැනවදිනවා. නෙත්මිගෙ අයියත් දක්ෂ පාසල් ශිෂ්‍යයෙක්. එයා තමන්ගේ නංගිව තේරුම් අරන් හෙමින් සැරේ ප්‍රශ්නේ මොකක්ද කියලා අහන්න උත්සාහ කළා. ඒත් හරිගියේ නැහැ.
මෙන්න මේ අවස්ථාවේදී නෙත්මිගෙ අම්මා බොහොම සංයමයෙන් බුද්ධිමත් විධියට ක්‍රියා කරනවා. නෙත්මිගෙ අම්මා නෙත්මි ට ලංවෙලා බොහොම සුහදව කතාකරන ගමන් හිස් සුදු කඩදාසියක්, පාට පෙට්ටියක් සහ පැන්සලක් දෙනවා.
“ දු ඔයාට කැමති චිත්‍රයක් අඳින්නකෝ බලන්න. මම කුස්සියට ගිහින් එන්නම්” . නෙත්මි චිත්‍රයක් අඳින්න ගන්නවා. කූරු කූරු හිසකේ තියෙන කාන්තාවක් , දිග කොණ්ඩයක් ගොතපු ගැහැණු ළමයෙක් ඇඳලා තනිකරම කළු පාටින් පාට කරනවා.
“ඇයි පුතේ මේ කවුද? මෙහෙම පාට කරන්නේ නැහැනේ ඔයා වෙනදට?” “ඔව් මේ ඉන්නේ ටීචර්. මේ ඉන්නේ මගේ යාළුවා… නෑ නෑ දැන් එයා මගේ යාලුවෙක් නෙමේ…” නෙත්මි කිව්වා.
පුංචිම පුංචි ප්‍රශ්නයක් සංවේදී හිතකට අනික් හිත්වලට වඩා දරාගන්න අමාරුයි. පුංචි මනස කියන්නෙත් කොහොමත් ඒවගේ දෙයක්. අම්මා මෙය තේරුම් අරන් ඉක්මනින්ම නෙත්මිව මනෝ වෛද්‍යවරියක් වෙත යොමුකරනවා. ඉතින් කාලය අරගෙන වෛද්‍යවරිය නෙත්මි එක්ක කතාකරල මනස ශක්තිමත් කරන්නේ කිසිම බෙහෙතක් දෙන්නෙත් නැතුව.වෛද්‍යවරියත් මුලින්ම නෙත්මිට චිත්‍රයක් හෝ නිර්මාණයක් කරන්න දෙනවා.එහිදීත් නෙත්මි ඇන්දේ අම්මා දැක්ක චිත්‍රයමයි. නෙත්මි නැති තැනෙක අම්මා නෙත්මි තමන්ට ඇඳලා දුන්නු චිත්‍රයත් පෙන්නනවා.පසුව නෙත්මිට සුව වෙද්දීත් ඇය චිත්‍රයක් අඳිනවා හැබැයි වෙනදා වගේම ලස්සනට. ඇය අඳින්නේ මුහුදු වෙරළක්. මේ අතරේ මනෝ වෛද්‍යවරිය නෙත්මි ගේ අම්මාට පුද්ගලිකව මෙහෙම කියනවා….
“ඔයා වගේ මේ ලෝකේ හැම අම්ම කෙනෙක්ම හිතනවානම් ළමයින්ව තේරුම්ගන්නවා නම්. අද ළමයි මානසික ලෙඩ්ඩු වෙන්නේ නෑ.අම්මලා හොයන්නේ තමන්ගේ ආශාවන් දරුවන්ගෙන් දකින්න මිස දරුවන්ගේ හැඟීම අඳුරගන්න නෙමේ.මෙතැනදී ඔයාගේ පවුලේ අයත් හොඳ විධියට හිතල තියෙනවා.”
මෙතෙන්ට මිට සතියකට කලින් ළමයෙක් ආව. ඒ ළමයව තව කාලයක් අපිට තියාගන ට්‍රිට්මන්ට් කරන්න වෙනවා. අපට ඒ ළමයාට තද ආරක්ෂාවක් දෙන්නත් වුණා. එයාගේ අම්මා තාත්තා ඩිප්රේෂන් එකක් ආවම ඔයා වගේ ඩොක්ටර් කෙනෙක් ලඟට යනවා වෙනුවට කරලා තියෙන්නේ තොවිල් කරලා ගුරුකම් කරලා නූල් ගැටගහන එකයි.ඒ වෙනකොට දරුවා මානසික රෝගියෙක් වෙලා ඉවරයි. සතියෙන් දෙකෙන් හොඳ කරගන්න තිබුන ඩිප්රේෂන් එක දැන් හොඳ කරන්න යන කාලයක් කියන්නත් බෑ. බෙහෙත් දෙන්නත් වෙලා.
මනසේ හිරවෙන ප්‍රශ්නයක් කියාගන්න බැරිවුණාම අපි හැඟීම් ප්‍රකාශ කරන්නේ වචන වලින් නෙමේ. හිතන්නකෝ පුංචි ළමයෙක්ට එහෙම මානසික පීඩනයක් ආවම, ප්‍රශ්න කියන්න බය වුණාම එයා හැසිරෙන්නෙත් මේ විධියට.මෙතැනදී නෙත්මිගෙ අම්මා ඇයට චිත්‍රයක් අඳින්න දෙන්නෙත් අන්න ඒ නිසා.මොකද චිත්‍රයක් වර්ණ ගන්වද්දී එයට භාවිතා කරන වර්ණ වලින් කෙනෙකුගේ හිතේ හැංගිච්ච දේවල් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම පුංචි ළමයින් සහ පාසල් දරුවන්.වැඩිපුර කළු වගේ අඳුරු වර්ණ පාවිච්චි කරනවානම් ඒවගේ දරුවන් ගැන හුඟක් සැලකිලිමත් වෙන එක වැදගත්.
මම මේ කතාවේ ඔබට කියන්න හදන්නේ. ළමා මනසේ ව්‍යකුලතා ඇතිවෙනවා වැඩියි. වැඩිහිටි මනසක ඇතිවන ගැටළු මර්දනය හෝ පාලනය කරන්න වැඩිහිටියාට ශක්තියක් තියෙනවා. නමුත් ළමයෙක්ට ඒ තරම් ශක්තියක් නැහැ.පුංචි මනස ඉක්මනින් කඩාවැටෙනවා. සංවේදී වුණාම අධෛර්ය වෙන අවදානම තවත් වැඩියි. මෙහෙම ප්‍රශ්නයක් ආවම දෙමව්පියන් හැටියට දරුවට ගහන්නේ බනින්නේ බලකරන්නේ නැතුව සුහදව කතාබහෙන් තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. ගුරුවරුන්ටත් මෙතැනදී යමක් කියන්න කැමතියි. ප්‍රශ්නයක් ඇතිවුණාම, දරුවෙක් අතින් වැරද්දක් වුණාම දරුවාට තරවටු කිරීමෙන් ඔබේ ආවේගය දරුවා පිටින් යැවීමක් පමණයි ඔබ කරන්නේ. ඔබේ පුද්ගලික ගැටළුවක් නිසා වුණත් හිතේ ආවේගයට දරුවෙකුට බනිනවා ගහනවා වෙන්න පුළුවන්. ඒත් මොන ආකාරයකින් හෝ ඔබ කරන්නේ ළමා මනස දුර්වල කිරීමක් විතරයි.මේ නිසාම දරුවා ඔබ කෙරෙහි දක්වා ඇති ගෞරවය ආදරය එක මොහොතෙන් වෛරයක් බවට හැරෙන්නත් පුළුවන්. හේතුව, ළමා මනස එතරම් සංවේදී නිසා. මේ හේතුව නිසා දෙමාපියන් වන ඔබත්, ගුරුවරුන් වන ඔබත් බොහොම සංයමයෙන් දරුවන් සමඟ ගනුදෙනු කිරීමට සැලකිලිමත් විය යුතුයි.
ඒවගේම බොහෝ දෙමව්පියන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ “නොපෙනෙන බලවේග” මඟීන්. හඳහන් වල මෙහෙම කිව්වා, මෙහෙම කලොත් තමා හරියන්නේ… මේ තෙල් එක ඔලුවේ ගැවම හරියනවා. මේ වගේ දේවල් ගුණයි, අත්දුටුයි කිව්වම අපේ දෙමව්පියන් ඒවා පසුපස සොයා යනවා. ඇත්තටම ඩිප්රේෂන් කියන්නේ මහා ලොකු රෝගයක් නෙමේ. අද වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණුයි. නොපෙනෙන දේවල් පසුපස නොගොස් දරුවන්ගේ අනාගතය අඳුරු වෙන්නට නොදී මනෝ වෛද්‍යවරයෙක් හමුවී ඉක්මනින් ක්‍රියාත්මක වුණහොත් ඔබේ දරුවාගේ අනාගතය සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගමන් කරාවි.
අපේ නෙත්මි දැන් ගුරුවරියක්. දරුවන් වෙනුවෙන් සමාජ සේවා කටයුතු කරන ජාත්‍යන්තර සම්බන්ධිකාරකවරියක්. එදා නෙත්මිගෙ පුංචි මනසේ ඇතිවූ ව්යාකුලත්වය තේරුම්නොගෙන ආත්මාර්ථයෙන් ඇගේ දෙමව්පියන්, සහෝදරයා ඉවසීමෙන් කටයුතු නොකලානම් මෙවන් දායාදයක් රටට ලෝකයට බිහිවෙන එකක් නැහැ නේද?