“මගේ දරුවා අනික් මොන්ටිසෝරි වල ළමයි එක්ක බලද්දී දුර්වලයි.ඒ මොන්ටිසෝරි වල ළමයිට වැඩපොත් එහෙමත් කරනවා. අනේ මන්දා එක වසරට ගියාම මෙයා කොහොම වෙයිද කියලා”
මෙහෙම කියන අම්මලා නම් ඕන තරම්.. ඒත් ඇත්තටම මොකක්ද මේකට හේතුව? මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය ළමයින්ව දුවවන්නේ අශ්වයෝ වගේ.අම්මලා ත් ළමයින්ගේ පසුපසින් ඉඳන් ළමයින්ට තරවටු කරමින් තමයි කටපාඩම් කරවන්නේ.ඒ, මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය සමාජය විසින් ඔලුවට දාලා තියෙන නිසයි.ඒත් ඔබ දන්නවද ඉන් ඔබේ දරුවට ඔබ කරන්නේ මානසික පීඩනයක් එල්ල කිරීමක් පමණයි කියලා?
ඇත්තටම මේ ලිපියෙන් මම ඉලක්ක කරන්නේ දෙමාපියන් වගේම පෙරපාසල් ගුරුවරුන්.මොකද දෙමව්පියන්ට වඩා දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රමවත් කිරීම ගැන මනා දැනුමක් ලැබෙන්නේ ඔබට වන නිසා.දරුවන්ට පෙරපාසල කියන්නේ එයාලගේ ජිවිතයේ සමාජගත වන පළමුවන පියවරයි.දැනුම ලබාගන්නත්,දන්නා දේවල් හුවමාරු කරගන්නත් පුංචි දරුවන්ට ඉන් හොඳ අවස්ථාවක් ලැබෙනවා.පෙරපාසල හුදෙක් අධ්‍යාපන ආයතනයක් ලෙසයි දෙමව්පියන් හිතන්නේ.පාසලට ඇතුල්වෙද්දී හොඳට අකුරු ටික මතක තියෙනව වගේම ඉංග්‍රීසි වාක්‍යයක් වුණත් කියවගන්න පුළුවන් තත්වෙට එක වසරේදීම දරුවා පත්වෙන්න නම් පෙරපාසල හුඟක් වැඩපොත්,අකුරු, කරන්න ඕනා කියලා දෙමව්පියන් හිතනවා.ඒවගේම කොච්චර උපදෙස් දුන්නත් දරුවෙක් පාසලට ඇතුලත් වෙලා පළමු වසර ඇතුලත මුළු ඉංග්‍රීසි හෝඩියම ආවරණය කරන්න පාසල් ගුරුවරුත් පෙළඹෙනවා. පෙරපාසලෙන් අදාළ සෑම දැනුමක්ම ලබාගෙන දරුවා පැමිණෙන බව ඔවුන් දන්නවා.ඉතින් ඒ නිසා පාසල් ගුරුවරුන් තම පහසුවට වේගයෙන් උගන්වන්න පෙළඹෙනවා.එහෙම බලද්දී දෙමව්පියන් පෙරපාසලක් තුලින් තම දරුවාට හුදෙක් අකුරු ටික විතරක්ම බලාපොරොත්තු වෙන එක පුදුමයකුත් නෙමේ.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමේ අරමුණෙන් දරුවකුට පෙරපාසල් අධ්‍යාපනය අකුරු කිරීම ට වඩා ක්‍රියාකාරකම් මූලික කරගනිමින් ලබාදිය යුතු බවට අධ්‍යාපන උපදේශකවරු සහ මනෝ වෛධ්‍යවරු පවා නිරන්තරයෙන් උපදෙස් ලබාදෙන්නෙත් රටේ අනාගතය වන දරුවා නිරවුල් මනසකින් අධ්‍යාපනය ලැබිය යුතු නිසයි.
පුර්ව ළමාවිය සංවර්ධනය සමාජ විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද ඉතාම වැදගත්.. සාමාන්‍යයෙන් අවුරුදු 3 ක දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගෙන් ටිකක් ඈත්වී පවුලට අමතරව විවිධ සමාජ සම්බන්ධතා ඇතිකරගන්න පුළුවන්කමක් තියෙන චරිතයක්.ක්‍රමවත් පෙරපසලකින් එවැනි නිවැරදි සමාජ සම්බන්ධතා හඳුනාගන්න ගුරුවරයා ළමයාට උදවුකරනවා.එයට අකුරු කිරීම ප්‍රමාණවත් නැහැ.මම මුලින් කීවා වගේ පෙරපාසල තමයි දරුවා සමාජගත වන පලවෙනි පියවර.එහිදී ගුරුවරයා මූලිකම අංගය බවට පත්වෙනවා.ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම තුලින් දරුවාට අනික් ළමුන් සමඟ සාමූහික තීරණ ගන්න,ක්‍රියාශීලි වෙන්න,පුද්ගලයන් හඳුනාගන්න,හරි වැරැද්ද මොකක්ද කියලා ගුරුවරයාගේ මාර්ගෝපදේශනය ඇතුළුව අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා.එවන් ක්‍රියාකාරකමක් පහත දැක්වෙනවා..
*එළිමහනට යන්න. දරුවාට වම දකුණ පිලිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදෙන්න. බෝලයක්,පෙට්ටියක් හෝ බාස්කට් එකක් ගන්න…බාස්කට් එක හෝ පෙට්ටිය තුලට බෝලය දමා දරුවාට ඈතින් තබන්න.දරුවා සහ බෝලය තිබෙන ස්ථානය අතර ඉඩකඩේ තැනින් තැනින් බාස්කට් හෝ පුටු,නැත්නම් විවිධ සෙල්ලම් බඩු තබන්න.ඉන්පසු දරුවාගේ දෙනෙත් වසා විධානයක් ලබාදෙන්න. බාධා ජයගෙන යන්න ඔබ උදව් කරන්න.බාධක ලංවෙද්දි දකුණට හැරෙන්න,වමට හැරෙන්න,ඉස්සරහට අඩි 2ක් යන්න,පසුපසට අඩියක් එන්න… මේ වගේ උපදෙස් දෙන්න.අවසානයේ බෝලය දමා ඇති පෙට්ටිය සොයාගෙන බෝලය ගන්න කියන්න.මෙලෙස කණ්ඩායම් කර එක එක්කෙනාට මේ ක්‍රියාකාරකම කරවන්න.කණ්ඩායමේ හැම දෙනාම තමන්ගේ අවස්ථාව ලැබුණු විට උනන්දුවෙන් වැඩකරන්න ඕන විධිය කියලා දෙන්න.තමන්ගේ වාරය එනතුරු ඉවසන්න පුරුදු කරන්න.මෙතැනදී නොදැනුවත්වම දරුවට ගණිත සංකල්ප,සාමූහික බව,ඉවසීම,සුහදශීලි බව පුරුදු කරවනවා.අකුරු ඉගැන්විමෙන්ම මේවා ලැබෙන්නේ නැහැ නේද?
අවුරුදු 3-4 කියන්නේ දරුවා අලුත් අත්දැකීම් වලින් ඉගෙනගන්න සුදුසුම වයසයි.මේ වයසේදී ක්‍රියාශීලිත්වය කියන එක දරුවෙක්ට ලැබෙන්නම ඕනේ.එක තැන පුටුවකට වෙලා අකුරු විතරක්ම ලිවීමෙන් බිහිවෙන්නේ අලස,මන්දගාමී,හුදකලා ළමයෙක් විතරයි.කොහොමත් මේ වයස්වල දරුවන් බොහෝවිට ආවේගශීලි වෙනවා.එවිට ගුරුවරයාගේ වගකීම තමයි තරහ පාලනය කරගෙන දරුවාට සෑම අයකු සමඟම සුහදශීලිව ඉන්න පුරුදු කරන එකයි. ඒකට හොඳ ක්‍රියාකාරකමක් තමයි විනාඩි කීපයක් අරගෙන භාවනා කරන්න දරුවන්ට කියාදෙන එක.ඔබ කරන දෙයින් දරුවාට ලැබෙන වාසි මුලින්ම දරුවාට කියා දෙන එක වැදගත්.
ඇහුම්කන් දීමට පුරුදු කරන්න..
සවන්දීම කියන්නේ දරුවෙක්ට යම් දෙයකට අවධානය දෙන්න තියෙන හොඳම ක්‍රමයයි.හොඳ සවන්දෙන්නෙකුගේ මතක ශක්තිය අන්‍යයන්ට වඩා වැඩියි.එය එසේනම් අනිවාර්යයෙන්ම එම දරුවා ඉගෙනීම් කටයුතු වලදීත් දක්ෂයකු වන එක පුදුමයක් නොවේ.සවන්දීම පුරුදුකරන්න හොඳ ක්‍රියාකාරකමක් තමයි please game කියන්නේ.
දරුවාට මුලින්ම විවිධ ඉංග්‍රීසි වචන, විශේෂයෙන්ම ක්‍රියාපද කියා දෙන්න. sleep,cry,jump,eat,drink,run වැනි සරල ක්‍රියාපද කියා දෙන්න.please යන වචනය පැහැදිලි කර දෙන්න.කුමන විටෙක එම වචනය යොදනවද කියා ඔබ විස්තර කරන්න. ඉන්පසු please යොදා එම ක්‍රියාපද ඔබ කිව්වොත් එය කර පෙන්වන්න කියන්න. please යන වචනය නොයොදා කිවහොත් එය නොකර පිළිමයක් ලෙස ඉන්නට උපදෙස් දෙන්න.මෙතුලින් දරුවාගේ ඇහුම්කන් දීමේ ශක්තිය වර්ධනය වනවා වගේම ප්‍රවේසමෙන් වැඩ කලයුතු ආකාරය පිලිබඳ අවබෝධයත් වර්ධනය වෙනවා.
පළමුව මිතුදම දෙවනුව තරගය..
පුංචි සත්‍ය සිදුවීමක් මෙහිදී මම කියන්නම්.මා සඳහන් කරන්නේ ඉතිහාසයේ චීනය ගැනයි. අතීතයේ චීනයේ කුඩා අත්කරත්ත තරග තිබුණා.අත් කරත්තයට පිදුරු පුරවාගෙන පිදුරු වට්ටන්නේ නැතිව තරගය මුලින් අවසන් කරන්නා ට ජයග්‍රහණය ලැබෙනවා.මෙය කුඩා ළමුන් අතර ප්‍රසිද්ධ අංගයක් වී තිබුණා.දිනක් එක තරග වාරයකදී ළමයෙකු වැටි කරත්තය පෙරලී පිදුරු හැමතැනම විසිරුණා.සිදුවුයේ අපූරු වෙනස් දෙයක්.අනික් සියලුම ළමයින් තරගය නිමකරනවා වෙනුවට වැටුණු ළමයා නැඟිටවා ගෙන පිදුරු කරත්තයට දමා සියලුම දෙනා ඔහු ද රැගෙනම තරගය අවසන් කළා.මෙය බලා සිටි සියල්ලන්ම සතුටෙන් සතුටට පත්කරන්නට සමත් අපූරු ආදර්ශවත් සිද්ධියක් වුණා.මේ කතාවෙන් මා කියන්න හදන්නේ ළමයෙකුට කෙසේ හෝ ජයග්‍රහණය කරනවා වෙනුවට පුරුදු කලයුත්තේ මනුෂ්‍යත්වයට තැන දීමෙන් වැටුණු විට අත දී අන් අය සමඟ සුහදව තරග කිරීමටයි.ජයග්‍රහණය ලබන්න කාටත් පුළුවන්.ඒත් හදවත් දිනාගන්න එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමේ.ඒවගේම හදවත් දිනාගැනීම තරම් ජයග්‍රහණයක් තවත් නෑ.
භාෂාව..
ගොඩක් අම්මලට ඕන වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව.ඉංග්‍රීසි වැඩිපුර කියලා දෙන, කට පාඩම් කරවන පෙරපාසලක් තමයි ඔවුන් වැඩිපුර හොයන්නේ.ඉංග්‍රීසි ඉගෙනගන්න එකේ කිසිදු වරදක් මා දකින්නේ නැහැ.ඒත් වයසට දරාගන්න බැරිතරම් විශාල බර වචන කටපාඩම් කරවමින් අනවශ්‍ය පීඩනයක් මනසට එල්ල කරමින් උගන්වන ඉංග්‍රීසි කවදාවත් මතකයේ තැන්පත් වෙන්නේ නැහැ.ඒ නිසා පුංචි මනසට භාෂාව ඇතුලත් කරන්න ඕනෙත් සෙමින් ක්‍රමවත්වයි.මුදලට කෑදර නොවී දරුවාගේ මනස අවුල් නොකර සරල කරුණු කියාදීම පිළිබඳව පෙරපාසල් ගුරුවරුන් මඳක් සිතන එක හොඳයි නේද?
දෙමව්පියන් විධියටත් ගුරුවරුන් විධියටත් මා මේ ඉහතින් කියූ කරුණු ඔබේ දරුවාගේ ජිවිතයට එක් කරන්න ඔබට පුළුවන්.ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගිල්ලක් දුර්වල කරන්නේ නැහැ වගේ තමයි පෙරපාසලෙන් ඔබ ලබාදෙන නිවැරදි දැනුම තමයි දරුවකුට යහපත් අනාගතයක් හදන්නේ .