දලයි ලාමා තුමා කියලා තියෙනවා ලෝකයේ ඉන්න අවුරුදු 8 හැම කුඩා දරුවෙක්ටම භාවනාව හොඳින් පුහුණු කළහොත් එක පරම්පරාවකට ලෝකයේ ප්‍රචණ්ඩත්වය නැතිකරලා දාන්න එය හොඳම ආයුධය වෙනවා කියලා.අද සමාජයේ ගොඩක් දෙනෙක් එදිනෙදා කාර්යබහුල ජීවිතෙත් එක්ක තමන්ට තමන් කවුද කියලවත් අඳුරගන්න බැරි තත්වයකයි ඉන්නේ.බැඳීම් අවබෝධ කරගන්න අපහසුකම නිසා අද බොහෝ දෙනෙක් ආත්මාර්ථයෙන් පිරිලා.ඒත් කුඩා කාලයේ ඉඳන්ම තම සිත අභ්‍යන්තරයෙන්ම සාමය සහ හික්මීම ඇතිකරගනිමෙන් ක්‍රමයෙන් වැඩිහිටියකු බවට පත්වෙද්දී මානුෂික හැඟීම් වලින් පිරිච්ච වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “මනුස්සයෙක්” වෙන්න පුළුවන්කම ලැබෙනවා.
අන්න ඒ නිසයි අධ්‍යාපනයට භාවනාව ඇතුලත්කරන්න අවශ්‍ය වෙන්නේ…
භාවනා කිරීම තුලින් මොළය වර්ධනය වීමක් සිදුවෙනවා.අපේ සිරුරත් එක්තරා යන්ත්‍රයක්.යන්ත්‍රයක් දිගින් දිගටම වැඩ කිරීමෙන් එම යන්ත්‍රයේ වේගය ටික ටික අඩුවෙනවා.එවිට කාර්යක්ෂමතාව අඩුවෙලා කොයි මොහොතකදී නැවතිලම යන්නත් පුළුවන්.අපේ ශරීරයත් එවගෙයි.මොළය වුණත් උවමනාවට වඩා වෙහෙසවද්දී එය නැවුම් වීමක් නැත්නම් රිෆ්‍රෙශ් වීමක් සිදුවිය යුතුයි.හරියට මැෂින් එකකට තෙල් උවමනා වගේ අපේ මොලයේ මනා ක්‍රියාකාරිත්වයට භාවනාව කියන්නේ හොඳ තෙල් වර්ගයක්.මනස දියුණු වෙනවා කියන්නේ මතක ශක්තිය වැඩිවී යමක් තර්කානුකුලව හිතන්න අවකාශය වැඩියෙන් ලබාදීමයි.
භාවනාව ආගමක් නොවෙයි…
ඔබ කුමන ආගමක කෙනෙකු වුවද භාවනා ක්‍රම පුහුණු කිරීමෙන් සිදුවන්නේ ඔබේ මනස සහ සිරුර දියුණු කිරීමක් පමණයි.ඒ නිසා ආගම් තරාතිරම් භේදයක් නැතුව කුඩා කල සිටම ඕනෑම අයකු භාවනාව ප්‍රගුණ කිරීම තුලින් සිත තුල ස්වයං හික්මීමක් ඇතිකරගැනීමට හැකිවීම තුල ආවේගය,කෝපය,වෛරය තමන්ටම පාලනය කරගන්න පුළුවන්.ඇත්තටම එහෙම හිතුවොත් අද යුද්ධ ඇතිවෙන්නෙත් නැහැ.අසම්මත ක්‍රියාවන් සිද්ධවෙන්නෙත් නැහැ නේද?
පාසල් අධ්‍යාපනයෙන් ලැබිය යුතු තෙවැනි ඇස..
විභාග වලින් පළවෙනියා වෙන්න,කටපාඩම් කරලා විභාග පාස් වෙන්න,පන්තියේ බැච් එකේ පළවෙනියා වෙන්නයි අද අධ්‍යාපන ක්‍රමය ළමයෙක්ට උගන්වන්නේ.මේ නිසා ළමයින් හුදෙක් ගිරව් බවට පත්වී උගත් හොරු බවට පත්වෙන එකේ මහා ලොකුවට පුදුම වෙන්න දෙයක් නැහැ.උගත් හොරු කියා මම අදහස් කරන්නේ පොත පතෙහි දැනුම පමණක් තියෙන වංචාකාරීන් ය.ඔවුන් තම දැනුම පාවිච්චි කරන්නේ තවකෙකු විනාශ කරන්නයි.එය කොච්චර භයානකද?එයින් සිදුවන්නේ සුළුපටු විනාශයක් නොවේ.ඇත්තටම අද අපේ අධ්‍යාපන ක්‍රමය තුලත් ඇත්තේ එවැනි ආත්මාර්ථයෙන් ඉදිරියට යන්න පාඩම් කියාදීමක් විතරයි.මෙනිසා කුඩා කල සිට ළමයෙකුගේ සිතට ඇතුල් කලයුත්තේ පරාර්ථකාමිව ඉගෙනගැනීමයි.තම සගයන්ට උදව් කර ඔවුන් හා එක්ව සාර්ථකත්වයට ගමන් කරන්නයි.සතුරා යන වචනය සිය ශබ්දකෝෂයෙන් අයින් කරගෙන සියල්ලන්ම මිතුරන් ලෙස දකින්නයි.එයට භාවනාව හොඳම උත්තේජකයයි.
කුඩා කලදී තමයි පහසුවෙන්ම ළමයකු ධනාත්මක කල හැක්කේ.එමෙන්ම අවශ්‍යනම් දරුවා පටු අදහස් ඇති පුද්ගලයකු බවට පත් කරන්න වුණත් කුඩා කාලයේදීම ඕනෑම වැඩිහිටියකුට හැකියාවක් තියෙනවා.එහෙත් මල් වගේ අනාගතය අකාලේ පරවෙන්න ඉඩනොහැර හික්මීමෙන් යුත් සමාජයක් බවට පත් කරන්නට අපට ඕනෑතරම් හැකියාව තියෙද්දී ඇයි අපේ ලෝකයේ අනාගතය අපි විනාශ කරන්නේ. මගේ අදහස නම් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට භාවනාව කියන දේ ක්‍රමවත්ව කියා දීමට කාලයක් වෙන් කර ඉන් දරුවන්ට හුදෙක් ප්‍රායෝගික දැනුමක් ලබදිය යුතු බවයි.එහෙත් එය දරුවාට තවත් එක විෂයක් නොවී ඔහුගේ හෝ ඇයගේ ජිවිතයේ කොටසක් බවටයි පත්කළ යුත්තේ.